BREAKING NEWS
latest

728x90

468x60

කුමාර තිරිමාදුර අසරණයෙකුට පිහිට වෙන්න ගිහින් හෝමාගම පොලිසියේ ලැගපු හැටි

"වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුණ" කියල බොහොම ප්‍රසිද්ධ කියමනක්‌ තියෙනවා. ඔන්න ඔය කියමන නැවත වතාවක්‌ සත්‍යයක්‌ බවට පත් කරමින් මේ ළඟදී දවසක අපිට ඉන්න දක්‍ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලොකු අකරතැබ්බකට මුහුණ පාන්න සිද්ධ වෙලා.

ඔහු නමින් කුමාර, කුමාර තිරිමාදුර. සිංදු කියල නටල බොහොම විනෝදෙන් ඉන්න අපේ භාෂාවෙන් කියනවා නම් ෆන් පොරක්‌ තමයි කුමාර තිරිමාදුර කියන්නෙ. ඒ වගේම ඔහු බොහොම සංවේදී පුද්ගලයෙක්‌. සරසවි මෑණියන්ගෙ ඇල්ම බැල්ම ආකර්ෂණය හරියට ලබල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකාරයෙක්‌ වෙච්ච අපේ මේ කතා නායකයට මේ කියන්න යන අලකලංචියට මුහුණ දෙන්න වෙන්නෙත් ඔහු තුළ තිබුණ ඒ සංවේදී උතුම් මානුෂීය ගුණාංග නිසාමයි.

මීට සති දෙක තුනකට කලින් ඔහු තමන්ගෙ දයාබර බිරිඳත් නංවාගෙන සිය මෝටර් රථයෙන් පන්නිපිටිය මොරකැටිය හන්දියට යන්නෙ උපකාරක පංතියකට සහභාගි වෙලා හිටපු තමන්ගෙ දියණිය නිවසට එක්‌කරගෙන එන්න. පංතිය අවසන් වීමට ප්‍රමාද වෙන බව දැනගත් ඔවුන් දෙපළ කලාතුරකින් තමන්ට ලැබුණු ඒ සුළු විවේකයේ සිය මෝටර් රථයෙන් පුංචි රවුමක්‌ ගහන්න කතිකා කර ගන්නවා.

ඒ විදියට ගමන් ඇරඹුවත් ඔවුන්ට වැඩි දුරක්‌ යන්න ලැබෙන්නෙ නෑ. ඒ මොරකැටිය හන්දියේ බස්‌ නැවතුමක බොහොම අසරණ ලීලාවෙන් තනිවෙලා පාරදිහා බලාගෙන ඉන්න වයෝවෘද්ධ තාත්තා කෙනෙක්‌ අනපේක්‍ෂිත ලෙස ඔවුන්ගේ නෙත ගැටෙන නිසා.

මෝටර් රථය ඔහු ළඟින් නතර කරපු කුමාරත් බිරිඳ තුෂාරාත් බොහොම ආදරෙන් මේ තාත්තාට කතා කරල මේ විදියට තනියම බස්‌නැවතුමේ ඉන්න හේතුව විමසල තියෙනවා.

අන්න එතකොට තමයි දැනගන්න ලැබිල තියෙන්නෙ ඊට සුළු මොහොතකට පෙර තමන්ගෙ ලෙයින් උපන් දරුවෙක්‌ වාහනයකින් ඇවිත් මේ තාත්තා පාරෙ අතරමං කරල ගිහින් තියෙන බව.

මේ කථාව අහල ඒ පියාණන් ගැන අනුකම්පාවෙන් පිරීගිය සිතින් ඔවුන් තමන් දන්න කියන වැඩිහිටි නිවාසයකට දුරකථන ඇමතුමක්‌ දෙන්නෙ සරණ වෙච්ච පියාට ඉන්න හිටින්න තැනක්‌ පිළියෙල කරල දෙන අදහසින්. වැඩිහිටි නිවාසෙ හිටපු පුංචි හාමුදුරු නමක්‌ කියනව හොඳයි මහත්තයෝ ඔය කියන පුද්ගලයව එක්‌කගෙන එන්න කියලා.

ඒ අනුව ඔවුන් උපකාරක පංතියේ හිටපු දියණියත් අරගෙන මහ මගදී හමුවෙච්ච අමුත්තව අර වැඩිහිටි නිවාසෙට රැගෙන යනවා. ඒ ගියාට පස්‌සෙ එහි භාරකාර හිමිනම සාමාජිකයන් වැඩි බව පවසා මේ පියාණන් නිවාසෙට භාර ගැනීම ප්‍රතික්‍ෂේප කරනවා.

කරකියා ගන්න දෙයක්‌ නොවූ තැන කුමාරත් බිරිඳත් අනෝරා වැසි ඇද හැළුණු ඒ රාත්‍රියේ අසරණ වූ පියා නැවත අතරමං කරනු නොහැකිව පන්සලකට රැගෙන යන්නෙ එහි ධර්ම ශාලාවෙ මේ තැනැත්තට එදින පමණක්‌ රැය පහන් කිරීමට අවසර ඉල්ලමිනි. ඒ අවසරයද එම පන්සලේ බුද්ධ පුත්‍රයන් තරයේ ප්‍රතික්‍ෂේප කරනවා.

මේ සිදුවීම් නිසා සිත කලකිරුණු මේ හිත හොඳ මිනිසාත් ඔහුගේ බිරිඳත් අවසානයේ තීරණයකට එනවා. ඒ එදින රාත්‍රියේ අර පියාණන්ට තමන්ගෙ නිවසේ නවාතැන් දී පසුදින වැඩිහිටි නිවාසයකට ඇතුළත් කරන්න. ඔවුන් ගත් තීරණය ඒ විදියට ක්‍රියාත්මක කරල පසුදින අර තාත්තා වැඩිහිටි නිවාසයකට ඇතුළත් කිරීමට වෙහෙසුණත් ඒක හිතන තරම් ලේසි පහසු කටයුත්තක්‌ වෙන්නෙ නෑ.

තම ලෙයින් උපන් දරුවන් මහ මඟ අතහැර ගිය මේ පියාණන් ගැන උපන් නිර්මල පීතෘ ස්‌නේහය පෙරදැරිව ඔහුට සෙවණක්‌ හිමිකර දීමේ කටයුත්ත සඳහා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී සිටි කුමාරට මේ වෙලාවේ තම මිත්‍රයෙකුගෙන් පුංචි උපදේශයක්‌ ලැබෙනවා. ඒ මේ සිද්ධිය පොලිසියට දැනුම් දෙන ලෙස. ඒ අනුව කුමාරත් බිරිඳත් අනපේක්‍ෂිත ලෙස හමුවුණ තාත්තා අරගෙන හෝමාගම පොලිසියට යනවා.

එහිදී පොලිස්‌ නිලධාරීන් මේ සිදුවීම හා සම්බන්ධ නීතිමය කරුණු කාරණා පැහැදිලි කරමින් තමා සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක්‌ බවත් අවසානයේ තමන්ට මේ වෙනුවෙන් උසාවියේ පෙනීසිටීමට සිදුවන බවත් පැහැදිලි කරදී ඇති අතර දැනට මේ සම්බන්ධයෙන් ගතහැකි නිවැරදිම හා එකම විසඳුම මේ පියාණන් රෝහලකට ඇතුළත් කිරීම පමණක්‌ බවට ලැබුණ උපදෙස්‌ මත කුමාරගේ ආදරණීය බිරිඳ තුෂාරා භාරකරු ලෙස ඉදිරිපත් වෙමින් මහමගදී හමු වූ පියාණන් රෝහලට ඇතුළත් කර ඇත.

මේ සිදුවීම ඒ විදියට නිමාවට පත් වුණත් අපේ සහෘද රංගන ශිල්පී කුමාර තිරිමාදුරගෙ හිතේ ඒ සිදුවීම පිළිබඳ බලවත් පසුතැවීමක්‌ ඇත. ඒ බැලූ බැලූ අත "මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි" යනුවෙන් පුවරු සවිකර ඇති මේ රටේ බුදුන්ගේ දේශනාවට අනුව අසරණයන්ට පිහිට වීමට නොහැකි වීම පිළිබඳවයි.

මෙවැනි වූ අවස්‌ථාවක අසරණ අයකුට පිහිටක්‌ විය හැකි අන්දමේ නීති රාමුවක්‌ අදාළ කුමන අංශයකින් හෝ පැනවෙන්නේ නම් එය අසරණයන්ට මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇතැයි පවසන, කුමාර, බුද්ධ දේශනාවට අනුව අසරණයන්ට පිහිට වීම තව දුරටත් උසාවිගානෙ රස්‌තියාදු විය යුතු වරදක්‌ දැයි තම හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කරමින් සිටී.

ධම්මික හේවාවසම්
« PREV
NEXT »

Facebook Comments APPID