BREAKING NEWS
latest

728x90

468x60

ගතින් ආබාධිත, සිතින් ශක්‌තිමත් ලොව දිනූ නිමල්

ගතින් ආබාධිත වුවත් සිත ශක්‌තිමත් නම් කළ නොහැක්‌කක්‌ නොමැත. විටක ඔහු මාධ්‍යවේදියෙකි. සමාජ සේවකයෙකි, ආබාධිතයන්ගේ මානව හිමිකම් ලෝකයාට ඉදිරිපත් කරන්නෙකි. ලෝකයටම ආදර්ශවත් පුද්ගලයකු ලෙස ලෝක ආබාධිත සමුළුවේදී ඔහු එලෙස හඳුන්වා ඇත. ඔහු හැට දෙහැවිරිදි එන්. නිමල් ජයවර්ධන මහතාය.

අපට ඔහු හමුවුණේ ඉපලෝගමදීය. ආබාධිත නිමල් ජයවර්ධන මහතාගේ ගම කෝට්‌ටේය. ඔහුගේ පියා හමුදා නිලධාරියෙකි. සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනකුගේ වැඩිමලා ඔහුය.

අපි ඔහු සමඟ මුලින්ම කතා කළේ කුඩා අවධිය ගැනය... මහත්තයෝ මම ජීවිතයට ඉස්‌කෝලේ ගිහිල්ලා නැහැ. පවුලේ අයගේ මතවාදය වුණේ දෙන දෙයක්‌ කාලා ඔන්න ඔහේ හිටපන්... යන අදහසය.

මගේ ළමා කාලය ගෙවුණේ ගෙදරටමය. ඇවිදින්න බැරි මම පුටුවට වෙලා කාලය ගත කළා. මම ගෙවන ජීවිතය ගැන දෙමාපියන් හරිම දුකෙන් හිටියේ... ඒ දවස්‌වල මගේ සීයා මට අකුරු කියවලා දුන්නා. කියවන්න බලන්න පොත්පත් ගෙනැවිත් දුන්නා. මාමලත් මට උදව් කළා. ඒ අය ගෙනැවිත් දුන්න පොතපත කියවලා මනසින් මම ලෝකය හඳුනා ගත්තා. පසුව මම කොළඹ ගංගාරාමයේ සුහද ළමා නිවාසයට ඇතුළත් කළා. එහිදී මම විවිධ දේ ඉගෙන ගත්තා. ආචාර්ය චින්තා මුණසිංහ මහත්මිය මට ඉගැන්නුවා. නාවල විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සමාජ විද්‍යා පදනම් පාඨමාලාව කළා. නයිනමඩමේ මීඩියා වැඩමුළුවලට ගියා. පසුව ග්‍රැටර් සඟරාවේ මාණ්‌ඩලික මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළා. 1997 ජනමාධ්‍ය ඩිප්ලෝමාව වැඩකළා. මගේ අරමුණ වුණේ රැකියාවක්‌ කරලා ආබාධිත අයට උදව් කරන්නයි. ඒ දේ එදා ඉඳලා මම අද දක්‌වා කරනවා.

1999.05.05 බෙල්ජියමේ ආබාධිතයන්ගේ මානව හිමිකම් සමුළුවට මම සහභාගි වුණා. 2000 වර්ෂයේ එක්‌සත් ජාතීන්ගේ ආබාධිතයන්ගේ ප්‍රඥප්තියක්‌ එළිදැක්‌වූවා. ලංකාව නියෝජනය කරමින් මම සහභාගි වුණා. විවිධ සංවිධානවලට සම්බන්ධ වෙලා ආධාර එකතු කරගෙන ආබාධිතයන්ට උදව් කළා. යුද්ධය පැවැති කාලයේ ත්‍රස්‌ත ප්‍රහාරවලට ලක්‌වුණ ගම්මානවල ළමයින්ට අධ්‍යාපන කටයුතු සඳහා උදව් කළා.

ඉතිං මම තනියම උයා පිහාගෙන කාලා ජීවත් වෙනවා. කොළඹට වඩා ඉපලෝගම නිදහසේ ජීවත් වෙනවා. පසුගිය වසරේ කෙන්යාවේ පැවැති ලෝක ආබාධිත සමුළුවට මම සහභාගි වුණා. එහිදී මම ලංකාවේ අපේ ආබාධිතයන් ගැන කතා කළා. මානව සම්පත් ගැන කතා කළා. ආබාධිත දෙපළක්‌ විවාහ වීම ගැටලුවක්‌ බව මම එහිදී කීවා. එහිදී මාව ලෝකයටම ආදර්ශවත් පුද්ගලයකු ලෙස සංවිධායකයන් මාව හැඳින්වූවා. එවිට මට විශාල සතුටක්‌ දැනුණු ඇසට කඳුළු ආවා..

ලෝක ආබාධිත දිනයට අපි ගැන කතා කරලා වැඩක්‌ නැහැ. ක්‍රියාවේ යෙදිලා ආබාධිතයන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මට යැමට ඒමට මෙම ඉලෙක්‌ට්‍රොaන රථය ලබා දුන්නේ රංජන් රාමනායක මහතායි. එතුමාට මම පිං ලබා දෙනවා..." මගේ දුරකථනයට 0728111005, 0775252404 කතා කරන්න.

කැකිරාව - සුදත් ඒකනායක
« PREV
NEXT »

Facebook Comments APPID