BREAKING NEWS
latest

728x90

468x60

තායිවාන් ගිණුම් හැක්‌ කර කෝටි 35කට ඉස්සූ හමුදා පුත්‍රයා රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක සභාපතිවරයකු ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ තායිවාන් බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. 

මෙම ජාත්‍යන්තර ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවකු බව කියන හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු වන එම්. සී. නම්මුනි නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණය වෙත පෙරේදා (07 දා) ඉදිරිපත් කළ අතර ලබන 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත. 

මෙම මහා වංචාවේ තවත් ප්‍රධාන පෙළේ සැකකරුවකු වන මෙරට සමාගමක සභාපතිවරයා වංචා කළ මුදල්වලින් කොටසක්‌ ද රැගෙන පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරගෙන යයි. මෙම සැකකරු වර්තමාන රජයේ ප්‍රබලම ඇමැතිවරයකුගේ සමීපතමයකු ලෙස කටයුතු කළ අයකු බව ද හෙළි වී තිබේ.

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඇමරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක්‌ වංචා කර ලබාගත් සංවිධානාත්මක කල්ලියට ඉන්දියාව, වියට්‌නාමය ඇතුළු තවත් රටවල් කිහිපයක පුද්ගලයන් සම්බන්ධ වී සිටින බව විමර්ශනවලින් හෙළි වී ඇත. එම සංවිධානාත්මක කල්ලියේ ශ්‍රී ලංකා සාමාජිකයන් වෙත ලැබී තිබුණේ ඩොලර් මිලියන 23 කට ආසන්න මුදලක්‌ බව ද හෙළි වී ඇත.

මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති නම්මුනි නමැත්තා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලැබූ අයෙකි. මොහු මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කළ බව විමර්ශනවලදී හෙළි වී ඇත.

නම්මුනි නමැත්තාට අයත් බව කියන රොස්‌මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයක්‌ වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී රහසිගත ලිපි ලේඛන තොගයක්‌ සහ මෙම වංචාවෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 40 ක මුදලක්‌ සොයාගෙන තිබේ.

මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදුවී ඇත්තේ පසුගිය 03 වැනිදා අලුයම 3.00 ත් 5.00 ත් අතර කාලසීමාවේදීය. තායිවානයේ පිහිටි ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක්‌ එල්ල කර එහි ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී රහස්‍ය දත්ත වෙනස්‌ කර අදාළ මුදල් එම සංවිධානාත්මක කල්ලියට අයත් සාමාජිකයන්ගේ බැංකු ගිණුම්වලට මාරු කරගෙන ඇත.

තායිවාන් ඊස්‌ටන් බැංකුවේ සහෝදර බැංකුවක්‌ ඇමරිකාවේ පිහිටා ඇති අතර වංචාව සිදුවූ දිනයේම ඒ පිළිබඳව ඇමරිකානු බැංකුව විසින් අනාවරණය කරගෙන තිබේ. පසුව එම ඇමරිකානු බැංකුව ඒ පිළිබඳව තායිවානයේ ඊස්‌ටන් බැංකුව වෙත දැනුම් දී තිබිණි. සයිබර් ප්‍රහාරයට ලක්‌වූ ඊස්‌ටන් බැංකුවේ පරිගණක ජාලයම ඒ වන විට ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබිණි. 

මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පවත්වන ලෙස අන්තර්ජාතික පොලිසිය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක්‌ කර තිබිණි. ඊට අමතරව තායිනාන් ඊස්‌ටන් බැංකුව මගින් ද මෙරට රාජ්‍ය බැංකුවක්‌ වෙත ඒ පිළිබඳව දැනුම් දී විමර්ශනයක්‌ පවත්වන ලෙස ඉල්ලීමක්‌ කර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර වංචාව සිදුවී දින 03 ක්‌ ගතවීමට පෙර ඊට අදාළ සියලු තොරතුරු අනාවරණය කරගෙන එහි ප්‍රධාන සැකකරුවකු ද අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරා ඇති අතර ඔහුගේ සියලු බැංකු ගිණුම් අත්හිටුවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වංචාව සම්බන්ධ ප්‍රධාන සමාගමක සභාපතිවරයා රටින් පලායැම වැළැක්‌වීමට අධිකරණ නියෝගයක්‌ ද ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම මහා වංචාවට තවත් පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

-හේමන්ත රන්දුණු
« PREV
NEXT »

Facebook Comments APPID