BREAKING NEWS
latest

728x90

468x60

ඉලක්කම් දොළහේ නවීනතම ජාතික හැඳුනුම්පත ගැන නොදත් දේ මෙන්න

වසර 25කට පෙර අපේ රටට හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පත වෙනුවට මේ මස මුල සිට නවීනතම ඩිජිටල් ක්‍රමයක් යටතේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතිය ඇති හැඳුනුම්පතක් නිකුත් කිරීම දැන් අරඹා තිබෙනවා‍.

මේ හැඳුනුම්පතේ ලොකුම වෙනස අංක 12 ක් තිබීමයි. ඡායාරූප දෙකක් එහි සඳහන් වෙනවා. 1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත 2014 පෙබරවාරි 28 දින සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක තාක්ෂණය මඟින් මුද්‍රණය කර නිකුත් කරන ලදී.

මේ සඳහා ආරක්ෂිත කාඩ්පත් ක්‍රමයක් මේ දක්වා පැවතිණි. එහෙත් දැන් ඒ ආරක්ෂක ක්‍රමයටත් වඩා නව ස්මාර්ට් (SMART) තාක්ෂණික කාඩ්පතකින් යුත් නව මුහුණුවරකින් යුත් අලුත් අන්තර්කාලීන ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 1 වැනිදා සිට ඉල්ලුම් කරන ජාතික හැඳුනුම්පත් සඳහා අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් (ICAO) යුත් ඡායාරූප ඉදිරිපත් කළ යුතු බව දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු අපට පැවසුවා.

මේ අලුත් හැඳුනුම්පත පරණ හැඳුනුම්පතේ මුල ඇති උපන් වසරේ අවසන් ඉලක්කම් දෙක වෙනුවට මුළු වසරේ ම අංකය සඳහන් ‍කරනවා. උදාහරණයක් ලෙස දැනට 720000000V ලෙස සඳහන් වූවොත් එය ඉදිරියේදී 197200000000 යනුවෙන් ඉලක්කම් 12ක් සහිතව නිකුත් කිරීමට යෝජිතයි. මේ පැරණි ජාතික හැඳුනුම්පත්වල අනුක්‍රමික අංකයේ දැනට ඇති ඉලක්කම් දෙක ඉදිරියෙන් බින්දුවක් එකතු කරනු ලැබේ.

මේ හැඳුනුම්පතේ පුද්ගල අනන්‍යතාවන් තහවුරු කිරීම සඳහා මුද්‍රණය කරනු ලබන දත්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමත් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් (ICAO) යුතු ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමටත් කටයුතු කරනු ලබනවා.

ලබන වසරේ සිට රටේ සියලු ජනතාවට අලුත් හැඳුනුම්පත ලබාදීමට අපේක්ෂිතයි. ඒ අනුව මිමී‍ 35 පළල, මිමී‍ 45 උස විය යුතු ඡායාරූපය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලබාදෙන උපදෙස් හා මෘදුකාංගය අනුව දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු යි. 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන නියෝග අනුව ඡායාරූප ගැනීම කළ යුතු වේ.

ප්‍රමිතියෙන් යුතු ඡායාරූප ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා වෙත යොමු විය යුතුය.

ඒ සඳහා ඡායාරූප ශාලා 1900ක් වෙන් කර ඇති අතර, එම ස්ථාන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවියට පිවිසීමෙන් හඳුනාගත හැකිය.

මුහුණ ඇස් විවෘතව හා පැහැදිලිව පෙනෙන පරිදිද මුඛය වසා සිනා සීමෙන් තොරවද කිසිදු හැඟීමක් පළ නොකරන මධ්‍යස්ථ ඉරියව්වෙන් යුක්තවද ඡායාරූපය විය යුතුයි. පසුතලය ඒකාකාරීව, පැහැදිලිව ආකෘතික ස්වරූපයෙන් තොරව ළා නිල් වර්ණයෙන් තිබිය යුතුයි.

හිස කෙස් මුහුණට නොවැටෙන පරිදි තිබිය යුතු අතර, මුහුණ කෙළවර තෙක් පැහැදිලිව දිස් විය යුතුය. ඇස් කණ්ණාඩි වීදුරුවලින් කිසිදු ප්‍රතිබිම්භයක් දිස් නොවිය යුතු අතර, කාච තුළින් ඇස් පැහැදිලිව දර්ශනය විය යුතු ය. පැහැදිලි කාච පමණක් පැලඳිය යුතුය. අඳුරු නොකරන ලද ඇස් කණ්ණාඩි පැලඳිය යුතුය.

ඒ සමඟම අදාළ ඡායාරූප වෘත්තීය මුහුණ රසායනාගාරයක් භාවිත කරමින් වර්ණයෙන් මුද්‍රණය කර තිබිය යුතුය. ඡායාරූපය කිසිදු අයුරකින් වෙනස් කර නොතිබිය යුතු අතර, අයදුම්කරුගේ ස්වාභාවික තත්ත්වය පිළිබිඹු කරන ඡායාරූපයක්ම විය යුතුය. අලුත් හැඳුනුම්පත ලබන වසරේ සිට රටේ සියලු දෙනාටම නිකුත් කිරීමට යෝජිතය. වැඩි විස්තර අදාළ ග්‍රාම නිලධාරිවරුන් මඟින් හා 0112862217 මඟින් දැනගත හැකි ය.

නිහාල් පී‍. අබේසිංහ
« PREV
NEXT »

Facebook Comments APPID