BREAKING NEWS
latest

728x90

468x60

අම්මා බළන්ගොඩ රෝහලට භාරදී දුව මාරුවෙලා - අසනීප දැන් හොඳයි - ගෙනියන්න කවුරුත් නෑ

මෙම මවගේ නම ඩබ්ලිව්. ඒ. සිසිලියා බවත් වයස අවුරුදු 72 බවත් ඇඳ ඉහපත සටහන් වල දැක්‌වේ. යම් අසනීප තත්ත්වයක්‌ නිසා 2018.4.17 දින රෝහලට මැය ඇතුළත් කර ඇත්තේ ඇයගේ දුව යයි සඳහන් කාන්තාවක විසිනි. එදිනම ඇයගේ උපස්‌ථානය සඳහා වයස්‌ගත කාන්තාවක්‌ රෝහලේ නතර කරවා භාරකාරිය ආපසු ගියාය. මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක්‌ ගතවී ඇත. 

මෙතෙක්‌ මෙම රෝගී මව බැලීමට කිසිවෙකුත් පැමිණ නැත. මැයගේ උපස්‌ථානයට නතර කළ වියපත් කාන්තාවද රෝහලේදී මාසයකට පමණ පෙර මිය ගොස්‌ ඇත. දැනට වලස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ ලෙස සඳහන් කර රෝහලේ නතර කළ සිසිලියා නමැති මව රෝගී තත්ත්වය සුවවී සිටි නමුත් ඇයට තමන්ගේ කාර්යයන් තනිවම කර ගැනීමට අපහසු වී ඇත්තේ දෙපා වාරු නැති නිසාය. තත්ත්වය මෙසේ හෙයින් රෝගියාගේ භාරකාරිය ලෙස සඳහන් කර ඇති ඩබ්ලිව්. ඒ. ධම්මිකා කළුතොට පාර විකිළිය බළන්ගොඩ යන ලිපිනයට රෝගියා රැගෙන යන ලෙස දන්වා පොලිස්‌ පණිවුඩ කීපයක්‌ද යවා ඇත. ඊට ප්‍රතිචාර නොලද නිසා මොරගහකන්දගොඩ, වලස්‌මුල්ල ලිපිනයෙන් මැය ගැන තොරතුරු සෙවීමට පොලිස්‌ "මැසේඡ්" කීපයක්‌ යවා තිබේ. නමුත් ඒවාට ලැබුණු පිළිතුරු පණිවුඩවල සඳහන් වන්නේ මෙවන් ලිපිනයක මෙවැනි අයෙකුගේ විස්‌තර නොමැති බවයි. වැඩි විස්‌තර මෙම වියපත් මවගෙන්ද ලබා ගැනීමට අසීරු වී ඇත්තේ කතා කිරීමේදී හරිහැටි වදන් පිට නොවන නිසාය.

මේ තත්ත්වය නිසා රෝහලේ හෙදියන්ට මැය වෙනුවෙන් විශාල කැපකිරීමක්‌ කිරීමට සිදු වී ඇත. මෙම මව අංක 01 වාට්‌ටුවේ ඇඳක ඉතා සුවෙන් සිනහමුසු මුහුණින් පසුවන්නේ රෝහල් කාර්ය මණ්‌ඩලය තම මවකට මෙන් සියලු සත්කාර සිදු කරන නිසාය. එය පැසසිය යුතුය. මේ පිළිබඳ රෝහල් පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ මවගේ නමේ මුලකුරුවලට සමාන මුලකුරු දියණිය (භාරකාරිය) සඳහන් කර ඇත්තේ හිතා මතාම මෙම මව අතහැර දැමීමේ අරමුණ ඇතිව දැයි සැකයක්‌ මතුවන බවයි.

රෝහල් බලධාරීන් හා පොලිසිය ඉල්ලා සිටින්නේ මෙම මව පිළිබඳව හෝ ඔහුගේ ඥතීන් පිළිබඳව යම් තොරතුරක්‌ දන්නා අයෙකු වෙත්නම් ළඟම තිබෙන පොලිසියට හෝ බළන්ගොඩ මූලික රෝහලේ 0452287261 යන දුරකථනයට ඇමතුමක්‌ ලබාදෙන ලෙසයි.
« PREV
NEXT »

Facebook Comments APPID