BREAKING NEWS
latest

728x90

468x60

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය ගැන දැනුවත් වෙමු

දකුණේ කුඩා දරුවන් අතරේ පැතිර යමින් ආරම්භ වූ ඉන්ෆ්ලුවන්සා වෛරසය මේ වෙනවිට තරමක් බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියනවා. මේ වෙද්දි ඉන්ෆ්ලුවන්සා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගිහිල්ලා. මෙවැනි තත්ත්වයක් යටතේ අපි කවුරුත් මේ භයානක වෛරසය ගැන අවබෝධයක් අරගෙන එයින් ප්‍රවේසම් වීමට, එය පැතිරීම වැළැක්වීමට සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වීමට වග බලාගත යුතුයි.

ඒ සඳහා ඔබව දැනුවත් කරන්න අවශ්‍ය තොරතුරු තමයි මේ ලිපිය මගින් අපි ඔබට ගෙන එන්නේ.

මේ වන විට දරුවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන්නට පටන් ගෙන ඇති වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා ඒ හැටියට හඳුනාගන්නට සමත් වෙලා තියනවා. ඉන්ෆ්ලුවන්සාව කියන්නේ වෛරසයකින් බෝවන රෝගයක්. කතා කිරීමේදී, සිනාසීමේදී, කිවිසුම් යැවීමේදී සහ කැස්ස හරහා පිටවෙන කෙළ බිඳිති, හොටු මගින් මේ රෝගය පැතිරයාමේ අවදානමක් තියනවා.

මේ නිසා ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ගැන නිසි පරිදි දැනුවත් වෙලා, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගෙන ප්‍රවේසම් වීම අනිවාර්යයි.

2. මොනවද ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ?

උණ, කැස්ස, උගුරේ වේදනාව සහ නාසයෙන් සොටු දියර ගැලීම ඉන්ෆ්ලුවන්සාවේ මූලික රෝග ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම රෝගය උත්සන්න වීමේදී හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ හෝ උදර ප්‍රදේශයේ කැක්කුම සහ බර ගතිය, එක දිගට පවතින වමනය සහ කරකැවිල්ල වැනි ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.

කිරි උරාබීමෙහි අඩුවක් පෙන්නුම් කිරීම, දියර වර්ග පානය කිරීමේදී අපහසුතාවක් පෙන්වීම, මුත්‍රා පිටවීම අඩුවීම සහ නොසන්සුන් බව වගේ ලක්ෂණ කුඩා දරුවන් අතරින් දිස් වෙනවානම් එයත් මේ රෝගයේ පූර්ව ලක්ෂණයක් වෙන්නට පුළුවන්. මේ වැනි ලක්ෂණ අවධානයට ලක්වුණු වහාම වෛද්‍ය උපදෙස් පතන්නට සිහියට ගන්න. අනතුරුදායක ලක්ෂණ මතුව ඇත්නම් වහාම රෝහලක් කරා යන්න.

3. ඉන්ෆ්ලුවන්සා වලින් ඉක්මන් සුවය ලබන්නට මොනවද කරන්න ඕනෙ?

වෛද්‍ය ප්‍රතිකාර ලබන ගමන්ම හොඳින් විවේකය ලබන්නත් මතක තබාගන්න. බිත්තර, මස්, මාලු, කරවල, පරිප්පු වගේ පෝෂ්‍යදායී ආහාර කෑම වේලට එකතු කරගන්න. ඒ වගේම කැඳ, සුප් වගේ උණුසුම් දියර වර්ග පානය කරන්න. මවු කිරි පානය කරන ළදරුවන්ට සාමාන්‍ය පරිද්දෙන්ම මවු කිරි ලබා දෙන්න.

4. අනිත් අයට පැතිරෙන එක වළක්වන්නේ කොහොමද?

අපි කළිනුත් කිවුවනේ මේ රෝගය කැස්සෙන් සහ කිවිසුම් මගින් පැතිර යන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා කැස්ස සහ කිවිසුම් පිට කරද්දී ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුහුණ ආවරණය කරගන්න මතක තියාගන්න. එහෙම බැරිනම් වැලමිටේ ඇතුල් පැත්තෙන් නාසය සහ කට ආවරණය කරගන්න. සොටු කෙළ තැවරුණු ලේන්සු නිතර සෝදා, වේලා පිරිසිදුව තියාගන්න. ඒ වගේම සොටු කෙළ තැවරුණු ටිෂූ කඩදාසි කසල බඳුන් වලට දමන්න. පිටතට ගොස් පැමිණෙන විට දෑත් හොඳින් සබන් ගා සෝදාගන්න මතක තබාගන්න. නිතර නාසය මුව ඇල්ලීමෙන් වළකින්න. අත්‍යාවශ්‍ය කරුණකට හැරුණු කල වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වල ගැවසීම අවම කරන්න. ඔබට ඉන්ෆ්ලුවන්සාව වැළඳී ඇත්නම් රැකියාවට යාම එතරම් සුදුසු වන්නේ නැහැ. ඉගෙන ගන්නා දරුවන්වත් පාසල්, පෙර පාසල් යැවීමෙන් වළකින්න.

5. මේ රෝගය වැඩිපුරම බලපාන්නේ කාටද?

පහත සඳහන් කරන ආකාරයේ අයට ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් වැඩි බලපෑමක් ඇතිවිය හැකියි.

ගර්භණී කාන්තාවන්

අවුරුදු 2ට වඩා අඩු දරුවන්

වයස අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන්

ඇදුම, දියවැඩියාව වැනි කල් පවතින රෝග වලින් පෙළෙන්නන්

දීර්ඝකාලීනව ස්ටීරෝයිඩ් වර්ගයේ ඖෂධ ලබාගන්නා රෝගීන්

ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්

ඔබත් මේ අවදානම් කාණ්ඩයට අයත් පුද්ගලයෙක් නම් රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න වග බලාගන්න.

6. වැඩිදුර විස්තර දැනගන්න ඕනෙ නම්?

ඉන්ෆ්ලුවන්සාව ගැන වැඩිදුර විස්තර, වෛද්‍ය උපදෙස් ලබාදෙන සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව අමතන්න ඔබට පුළුවන්. 0710 107 107 අංකය අමතලා, පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන මේ සේවයේ උපදෙස් පතන්න ඔබට පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වන සුවසැරිය මගින් වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන්ව සෘජුවම සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා.

ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය ගැන මේ ලිපිය මගින් ඔබට යම් දැනුවත් කමක් ලැබුණානම්, තවත් අය අතරත් මේ දැනුම පතුරවන්නට මේ ලිපිය බෙදා හදාගන්න අමතක කරන්න එපා.
« PREV
NEXT »

Facebook Comments APPID