කිරි පුංචා උන්නැහැ දක්ෂ ගොවියෙක්. එයාට පුතෙක් හිටියා. ඉතින් එයාගේ පවුලයි පුතයි තුන්දෙනා ගමේ පොඩි ගේක ජීවත් වුණා. කිරි පුංචා ගොවියා වුණාට පුංචි කොල්ලා සන්දියේ පන්සලක ඇබිත්තකම කළා. ඒ කාලේ මිනිහා කොණ්ඩා කපන්නට ඉගෙන ගත්තා. ඉතින් ඒ සෑත්තරේ අපතේ අරියේ නෑ. ඔය නිකන් ඉන්න වෙලාවට ගමේ මිනිස්සුන්ගේ කොණ්ඩා කැපුවා.
ඔහොම කාලේ ගත වුණා. ඒ පළාත පුරා හිටි හැටියේ ආරංචියක් ගියා ගමේ වැව ඉස්මත්තේ කැලෑවේ තියෙන පරුවත විමානේ ගල් තලාවක මහා බලගතු නිධානයක් තියෙනවා. ඒක ගන්නට පිටින් ආපු කට්ට¾ඩියෝ වගයක් ගං ගාණේ ඇවිද ඇවිද බිල්ලට මිනිස්සු හොයනවා කියලා. මේ ආරංචියෙන් මිනිස්සු හරියට බය වුණා. බිල්ලට හොයන්නෙ රැවුල තියෙන පිරිමි කියලත් ආරංචි වුණා. මේ කාරණේ නිසා රැවුල තියෙන පිරිමි ඉක්මනට රැවුල කැපුවා. රැවුල තියෙන පිරිමියෙක් පළාතේ හොයා ගන්න බැරිවුණා. බය වෙන්න තව හේතු වුණේ එක එක ගම්වලින් හිටි ගමං පිරිමි අතුරුදන් වෙච්ච ආරංචි එහෙම ආපු හින්දා.
අපේ කිරි පුංචා උන්නැහැ මහ අමුතු ජාතියේ මිනිහෙක්. එයා මේ කාලෙත් තමන්ගේ වවල තිබුණු රැවුල කැපුවේ නෑ. තමන්ගේ බිරියයි, දරුවයි අඬලා ෙදාඩලා කිව්වා රැවුල කපන්න කියලා.
කිරි පුංචා දවසක් කුඹුරේ වතුර බැඳලා මද්දහනේ වෙන වැඩක් නොතිබිච්ච හින්දා අර කොණ්ඩා, රැවුල කපන ආවුද කට්ටලෙත් ඇරගෙන අල්ලපු ගමේ යනවා කියලා ගෙදෙට්ට කියාගෙන ගියා.
අල්ලපු ගමට යන්න තියෙන්නේ කැලෑව මැද්දෙන්. මෙහෙම ගිහින් අල්ලපු ගමෙයි තව දන්න කියන තැන්වලයි කොණ්ඩා, රැවුල් කපලා හවස් වීගෙයන එද්දී ආපහු එන්න හැරුණා. ආපසු එන්නේ ගිය පාරෙම නෙවෙයි වෙන පාරක.
ඔහොම එද්දී කැලේ මැද්දෙදි අර කලින් කියලා තිබුණු කට්ට¾ඩියෝ අකුලේ හැංගිලා ඉඳලා එක පාරටම පැනපි. කිරි පුංචත් කලින් කියලා තිබුණා වගේ සූදානමෙන් ආවේ. ඉස්සෙල්ලා ආපු කට්ට¾ඩියාගේ මූණේ දැලි පිහියෙන් ඉරි ඇන්දා. හෝ ගාලා ලේ ගලන්න පටන් ගත්තා විතරක් නෙවෙයි මිනිහා ඇදගෙන වැටුණා. අනිත් දෙන්නා බිය වෙලා බලාගෙන හිටියා. ළං වුණේවත් නෑ. පස්සේ කිරි පුංචා මිනිහාගේ ඇඟේ බොහොම තැන්වල දැලි පිහියෙන් ඉරි ඇඳලා පැන්නා. ඒ වෙනකොට කට්ට¾ඩියෙක් ගලක් අරන් කිරි පුංචාට ගැහුවා. ඒක හරි සැරේට මිනිහට වැදුණා. ඇස්වලින් තරු විසි වුණා. බිම වැටුණා. අනිත් දෙන්නා ඇවිත්් පොලු අරගෙන ගහලා ලණුවලින් බැඳගෙන කිරි පුංචා කැලේට උස්සාගෙන ගියා.
ඉතින් හැන්දෑවේ එයා ගෙදර නොආපු හින්දා පවුලයි පුතයි හරියට බය වෙලා හිටියේ. කනගාටුවෙලා හිටියේ. රෑ එළි වෙනකන් නින්දක් නැතිව දුකෙන් අඬ අඬා කාලේ ගෙව්වා.
දැන් ඔක්කොමලගෙන් ඇහුවා කිසිම තොරතුරක් නෑ. කවුරුත් කතා වුණේ නිධානේ ගන්නට කිරි පුංචා බිලි අරගෙන කියලා. කීප ෙදාහකට පස්සේ ගමට පිටින් ආපු කෙනෙත් කීවා අඳුරන්නේ නැති මිනිහකුට පිහියෙන් ඇනලා කැලේ මරලා දාලා හිටියා කියලත්
එව්ව කොහොම වුණත් දැන් පාඩුව අපේ අහිංසක ගැටයටයි උගේ අම්මටයි. අම්මාගේ පැත්තේ නෑයෝ ඒ ගෙදරට ඇවිත් දෙන්නගෙ හිත සැනසෙන්නට දේවල් කීවා එච්චරයි.
මේ සිද්ධියෙන් පස්සේ අම්මයි පුතයි හුඟක් වෙනස් වුණා. ඒ ගමෙන් යන්නට හිතා ගත්තා. එහෙම හිතලා තිබ්බ හරුබස්ස ඔක්කොම බර බාගෙක බැඳගෙන කිරි පුංචාගේ මහ ගෙදර ගියා. කොලු ගැටයා ඒ ගමේ ඉස්කෝලේ හතරේ පන්තියට ඉගෙන ගත්තා. මේ විදිහට තවත් අවුරුදු කීපයක් ගත වුණා.
මේ ළමයා දැන් හොඳ ගැටයා. තමන්ගේ අප්පුච්චාගේ අකල් වෙන්වීම මිනිහාගේ හිතේ හැම වෙලේම හොල්මං කළා. අප්පුච්චාට වෙච්ච දේ හරියටම දැනගන්නට තියෙනවා නම් කියලා ගැටයා හිතුවා. ඒත් ඒක කොහොම දැන ගන්නද?
දැන් කොලු ගැටයත් ගොවියෙක්. ගමේ ගොවියෝ එක්ක හරි හරියට වැඩ කරනවා.
කමත් අතුගාන්නට බෝල අතුයි, හරකුන්ට තළන්ට කෙවිට ගස් එහෙම ඕනෑ නිසා එව්වා හොයන්න කැලේට ගියා. මොන හේතුවකින් හරි මේ වැඩේ සුණු වුණාට මහ කැලෑව ඇතුළට ඒ කියන්නේ අෑතට ගියා. ඔන්න අපේ ගැටයා අර වුවමනා කරපු බෝල අතුවලට ගන්න අතු ජාතියි ඒ කියන්නේ කූරටිය වගේ ගස්වල අතුයි කෙවිට ගස් එහෙම කපාගෙන කැලේ ඇවිදගෙන එනවා. එයා දැක්කා ගලක් මුදුනේ ලස්සනට හැදුණු නුග ගහක්. ඒක පාමුල ගලෙන්ම හැදුණු විලක් වගේ ජලාශයක්. මේක නම් මහ පුදුමයක් නේද කියලා එතෙන්ට ගියා. පුදුම තමයි ගල පලාගෙන එන උල්පතක වතුර පහළට ගලාගෙන ගිහින් මේ පොකුණ හැදිලා. බැලින්නම් පොකුණේ මාළුවෝ ඉන්නවා.
පොකුණට බැහැලා මාළුවෝ අල්ලන්ට පටන් ගත්තා. කොහෙද උන් එහෙ මෙහෙ පනිනවා. පස්සේ පොකුණේ වතුර ඉස්සා දැන් වතුර අඩුයි.
ඊළඟට කළේ අතට අහුවෙන අහුවෙන මාළුවා අල්ලලා ගල් තලාවට විසි කළා. ගල් තලාවට වැටුණු උන් ආයෙම පැනගෙන සමහරු වතුරට වැටුණා. පස්සේ මිනිහා පොඩි කෝටුවක් කපාගෙන අර ගල උඩට දැම්මට පස්සේ නටන උන්ට ගැහුවා. ආයේ නැටුවේ නෑ. මෙහෙම කරගෙන යනකොට එක පාරටම මහා සද්දයක් ආවා. අර ගල්තලාවේ එයා හිටිය තැනට ඉහළින් ගල් ෙදාරවල් වගේ දෙකක් ඉහළට මතුවුණා. ගිහින් බලපුවම කැටයම් කරපු පඩි පෙළක්. ඒ විතරක් නෙවෙයි ඒ ඇතුළේ එළියක් වගේ පෙනුණා. මිනිහා පඩි පේළිය බැස්සා. එතැන මිනී ඔළු ඇට කටු ගොඩක්.
අනිත් පැත්තට හැරුණා බුදු අම්මෝ හරිම ආශ්චර්යයක්. අනිත් පැත්තේ විනිවිද පෙනෙන දේකිං එහා ලෝකේ වටිනා වස්තු තියෙන තැනක් පේනවා. එයා එතැනට ගිහින් අත දැම්මා. අර විනිවිද පෙනුණු දේ නැති වුණා. ඒක තමයි නිධානය. එයා එහි වස්තුව ගත්තා. ඉතා රහසිගතව ඒවා පරිහරණය කළා. පියා වෙනුවෙන් පින්කම් කළා. මවත් සමඟ සතුටෙන් හිටියා. හොඳ විවාහයකුත් කර ගත්තා.
කිරි පුංචා රැවුල වවලා තිබුණු නිසා එයත් දස වධ විඳලා බිලි වෙන්න ඇති. කට්ට¾ඩියන්ට කොහොම හරි එකම වාරයේ රැවුලෝ 49 දෙනක් හොයාගෙන බිලි දෙන්න බැරි වෙලා. ඒ නිසා නිධානය ගන්න බැරිවුණා. අපේ ගැටයා ඒ හපන්කම නොදැනීම කළා. අර මාළුවෝ අතරේ හුංගෝ, වැව් ඉස්සෝ වගේ උන්ගේ රැවුල තියෙනවා. 49 වැනියාව තළල මැරෙනකොට නිධානේ ෙදාර ඇරුණා.
සැකසුම - සුලක්ඛන ජයවර්ධන