BREAKING NEWS
latest

728x90

468x60

හිටිගමන් මතුවී පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? පෙනී නොපෙනී යන අබිරහස් නෞකා රැසක්

අෑත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරෙන් එක්වරම මතු වී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත් කරමින් එම නෞකා එකවරම අතුරුදන් වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා 'භූත නැව්' ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලැඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ 'භූත නැව්' ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.

චිලෝටා ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකට අනුව සැමදා රාත්‍රියෙහි චිලෝයි දූපත් අසලට පැමිණෙන අබිරහස් නෞකාවක් ඇත. එම ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි එම නෞකාව මීට බොහෝ කලකට පෙර මුහුදුබත් වූවකි. නෞකාව දර්ශනය වනවිට නැවේ සිට ගිලී මියගිය මිනිසුන්ගේ භූතාත්මද ඒ සමඟ දර්ශනය වන බව පැවැසේ. නෞකාව හැමවිටම සාදවල වැයෙන සංගීතරාවයෙන්ද, සිනා හ¾ඩින්ද පිරී ඉතිරී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් එලෙස මෙම නෞකාව දර්ශනය වන්නේ සුළු වේලාවකට පමණි. සුළු වේලාවකින් නෞකාව අතුරුදන් වේ. සමහරුන් පවසන්නේ නෞකාව නැවැත මුහුදු පත්ලට යන බවය. කෙසේ නමුත් මේ සිදුවීම අදටත් අබිරහසක් බව පැවැසේ. වර්ෂ 1906දී තවත් මෙවැනි පුවතක් වාර්තා වී ඇත. එස්.එස්. වැලන්සියා නම් නෞකාව වර්ෂ 1906දී මුහුදුබත් වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙන්ඩොසිනො නමැති තුඩුව ආසන්නයේදීය. මෙහිදී මගීහු සැම දෙනාම පාහේ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ජීවිතය බේරා ගැනීමට සමත් වූහ. නමුත් එක් පුද්ගලයෙක් අතුරුදන් විය. එයින් පසු බොහෝ මසුන් මරන්නන් පවසා සිටියේ එක් මිනිස් ඇටසැකිල්ලක් සහිත 'භූත නෞකාවක්' ඔවුන් දුටු බවයි. මෙම නෞකාවද දර්ශනය වී සුළු මොහොතකින් එකවර අතුරුදන් වීම විශේෂත්වයකි. 'වැලන්සියා' නෞකාව මුහුදුබත් වී බොහෝ වසර ගණනාවකට පසුවද මෙම අබිරහස් ඇටසැකිල්ල සහිත නෞකාව දර්ශනය වීම විශේෂත්වයකි. පෙර සිදුවීමේ පරිදිම මේ නෞකාවේ අබිරහසද මෙතෙක් විසඳී නැත.

1926 වර්ෂයේ නිපදවන ලද බෙෂිමෝ නම් නෞකාව 1931දී ඇලස්කාව ආසන්නයේ අයිස් කන්දක හිර විණි. නෞකාව ගලවා ගැනීමට කිසිම මඟක් නොවූ හෙයින් එය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට හිමිකරුවන්ට සිදු විය. නමුත් පුදුමයට මෙන් එයින් වසර 38ක් ගතවන තුරුත් මෙම නෞකාව වරින්වර විවිධ පුද්ගලයන්ට දර්ශනය වී ඇත. ඒ ඇලස්කාව ආසන්න මුහුදු තීරයේය. ඔවුන් දැක තිබුණේ අරමුණක් රහිතව ගමන් කරන නෞකාවය. කෙසේ වෙතත් 1969න් පසු නෞකාව දර්ශනය වීම සම්පූර්ණයෙන් නතර වී ඇත. තවත් මෙවැනි කුතුහලය දනවන පුවතක් වාර්තා වී ඇත්තේ 1748දීය. වර්ෂ 1748 පෙම්වතුන්ගේ දිනයට පෙරදා 'ලොවිබොන්ඩ් ආර්යාව' නමැති නෞකාවේ නැව්පතියාගේ විවාහ සංවත්සරය සැමරිණි. නැව් කපිතාන්ගේ බිරියට කපිතාන්ගේ යහළුවාද ප්‍රේම කළ බව සඳහන් වේ. මේ තුන්කොන් ආදරය හේතුවෙන් කපිතාන්ගේ යහළුවා නැව හිතාමතා මුහුදුබත් කළ බව කියැවේ. මේ හේතුවෙන් නැවේ සිටි සියල්ලෝම මරණයට පත් වූහ. එයින් පසු සෑම වසර 50කට වරක් මේ නැව නැවත දර්ශනය වූ සඳහන් වේ. වර්ෂ 1798, 1848, 1898, 1948 යන වර්ෂවලදී එසේ නෞකාව දර්ශනය වී ඇත. මෙම නැව දර්ශනය වූ සමහර වාරවලදී අනතුරට පත් වූ නැවක් යැයි සිතා සමහර නෞකා ජීවිතාරක්ෂක බෝට්ටු පවා ඒ වෙත යවා තිබිණි. නමුත් සුළු මොහොතකින් නැව එකවරම අතුරුදන් වී ඇත. මෙම සිදුවීම අදටද ඉතිහාසය කලඹන්නක් වී ඇත.

'ෆලයිං ඩච්මන්' නම් නෞකාවද මේ අන්දමින් වාර්තා පොතට එක් වූවකි. එය පාදක කොට ගනිමින් චිත්‍ර, නවකතා, ඔපෙරා, චිත්‍රපට යනාදිය පවා බිහි වී ඇත. නැඟෙනහිර ඉන්දියාව වෙත යාත්‍රා කළ මේ නෞකාව අයහපත් කාලගුණයට හසුවිය. නැව් කපිතාන්වරයා ගුඩ්හෝස් තුඩුව පසුකර නැව ඉදිරියට ධාවනය කරවීමට හැකි හැම උත්සාහයක්ම දැරුවද අසාර්ථක විය. අවසානයේ නැව මුහුදුබත් විය. එදා සිට අද දක්වාම සිය ගණන් ධීවරයන්ට මෙම නෞකාව තම නොනවතින ගමන ගමන් කරන අයුරු දර්ශනය වී ඇත. විශේෂත්වය වන්නේ දර්ශනය වී සුළු මොහොතකින් නැව අතුරුදන් වීමයි. ඉතිහාසයේ සිට මේ දක්වා මෙලෙස අබිරහස් ලෙස දර්ශනය වන නෞකාවන්හි රහස මෙතෙක් හෙළි කර ගැනීමට කිසිවෙක් සමත් වී නැත.

එල්. ජයසේකර
« PREV
NEXT »

Facebook Comments APPID