BREAKING NEWS
latest

728x90

468x60

චින්තන ගීතාල් ඇතුළට සුදේශ් පීරිස් එළියට

2018 වසරේ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නම්කර ඇති අතර, ඊට ක්‍රීඩකයන් 7ක් සහ ක්‍රීඩිකාවන් 4ක් ඇතුළත් වේ.

පසුගිය සැප්තැම්බර් මස ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පවත්වන ලද ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනකු සුදුසුකම් ලබාගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මස අසර්බයිජාන්හිදී පැවැති ජාත්‍යන්තර ගෘහස්ථ තරගාවලියේදී ඩබ්ලිව්.පී. උෂාන් (කිලෝ ග්‍රෑම් 105ට වැඩි බර පන්තිය) දක්වන ලද දක්ෂතාව පදනම් කර ගනිමින් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට නම්කර තිබේ.

මීළඟ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ බර ඉසිලීමේ තරග 2018 වසරේ අප්‍රේල් මස 4දා සිට 9දා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැත්වේ. 
2006 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී කිලෝ ග්‍රෑම් 62ට අඩු බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනා ගනිමින් මෙරට බර ඉසිලීමේ ක්‍රීඩාවේ නොමැකෙන සටහනක් තැබූ චින්තන ගීතාල් විදානගේ මෙවර ක්‍රීඩා උළෙලටද සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙයි.

එහිදී ඔහු ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 118ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑම්. 153ක්ද ලෙස කි.ග්‍රෑම් 271ක බර එකතුවක් සටහන් කර ගනිමින් රන් පදක්කම දිනා ගත්තේය.

මැන්චෙස්ටර් (2002), මෙල්බර්න් (2006), නවදිල්ලි (2010) සහ ග්ලාස්ගෝව් (2014) ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල්ද නියෝජනය කරමින් කැපී පෙනුණු චින්තන විදානගේ නවදිල්ලි තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ රිදී පදක්කමක්ද දිනා ගැනීමට සමත් විය.

2010 වසරේදී ලෝකඩ පදක්කමක් සහ 2014 දී රිදී පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනුණු ඇන්ටන් සුදේශ් පීරිස් මෙවර ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ පරිසාධන මට්ටමට ළඟා නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වී නොමැත.

චින්තන ගීතාල්ට අමතරව ඉන්දික චතුරංග දිසානායක (2010, 2014), ශානක මධුශංඛ පීටර්ස් (2010, 2014), තිලංග විරාජ් පළඟසිංහ (2014), චමරි වර්ණකුලසූරිය (2014) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල් නියෝජනය කරමින් අත්දැකීම් ලබා ඇති අතර, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා පළමු වරට සුදුසුකම් ලබා සිටියි.

‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
ජේ.ඒ. චතුරංග ලක්මාල් (කි.ග්‍රෑ. 56 බර පන්තිය), තිලංග විරාජ් පළඟසිංහ (කි.ග්‍රෑ. 62 බර පන්තිය), ඉන්දික චතුරංග දිසානායක (කි.ග්‍රෑ. 69 බර පන්තිය), චින්තන ගීතාල් විදානගේ (කි.ග්‍රෑ. 77 බර පන්තිය), ශානක මධුශංඛ පීටර්ස් (කි.ග්‍රෑ. 94 බර පන්තිය), ඒ.ජී. සමන් අබේවික්‍රම (කි.ග්‍රෑ. 105 බර පන්තිය), ඩබ්ලිව්.පී. උෂාන් (කි.ග්‍රෑ. 105ට වැඩි බර පන්තිය), හංසනී ගෝමස් (කි.ග්‍රෑ. 48 බර පන්තිය), චමරි වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 53 බර පන්තිය), නදීශානි රාජපක්ෂ (කි.ග්‍රෑ. 58 බර පන්තිය), බි. චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑ. 75 බර පන්තිය).

සපුමල් වීදිය බණ්ඩාර
« PREV
NEXT »

Facebook Comments APPID