BREAKING NEWS
latest

728x90

468x60

මළසිරුරක්‌ අභිරහසක්‌ හෙළිකරය හැටි මෙන්න

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතාගේ අත්දැකීම් ඇසුරෙනි;

නිර්මලා උපාධිධාරි ගුරුවරියකි. ඇය පියකරු පෙනුමෙන් යුත් රූමත් තැනැත්තියක්‌ වූවාය. මේ නිසාම ඇය විශ්වවිද්‍යාල සිසුවියක්‌ව සිටි අවදියේ දී ඇගේ ආදරය ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකුම ඇය පසු පස ආහ. එහෙත් ඇගේ සිත ඇදී ගියේ විශ්වවිද්‍යාල සිසුවකු වූ නිමන්තටය. නිමන්ත ද කඩවසම් තරුණයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මේ දෙදෙනාම තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. මේ දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිපලයක්‌ වශයෙන් වැඩිකල් නොගොස්‌ දෙදෙනා යුග දිවියට පිවිසියහ..

මෙම යුවළ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අති දුෂ්කර ගම්මානයක පදිංචිව සිටියහ. යුග දිවියට පිවිස වැඩි කලක්‌ යැමට මත්තෙන් මෙම දෙදෙනා අතර නොයෙකුත් ගැටුම් ඇතිවිය. එහෙත් එම ගැටුම් පැවතියේ නිවසේ බත් හැලිය ඉදෙන තෙක්‌ පමණි. එහෙත් නිමන්තට බිරිඳගෙන් වූ සුළු අතපසුවීමකටත් කේන්ති ගියේය. කාලය කෙමෙන් ගෙවී යමින් පැවතුණි. ඒ වන විට නිර්මාලා ගැබ්ගෙන තිබුණාය. ඔයා තාත්තා කෙනෙක්‌ වෙන්න යන්නේ නිර්මලා එක්‌දිනක්‌ නිමන්තට කීවාය. එහෙත් නිමන්ත ඒ ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැත. කොටින්ම කිවහොත් නිමන්ත කුකුල් කේන්ති කාරයෙකි. නිර්මලා ගැබිනියක්‌ බවට පත්වීමෙන් පසු ඇයට නිමන්තගෙන් වන හිරිහැර වැඩි වන්නට විය. නිර්මලා ජීවත් වූයේ කඳුළු බොමිනි.

අනේ නිමන්ත මට මේ විදියට හිරිහැර කරන්න එපා. මගේ හිත පාරන්න එපා. දැන් මට ජීවත් වීමත් එපා වෙලා තියෙන්නේ. නමුත් බඩේ ඉන්න දරු පැටියා නිසා ඉවසනවා. නිර්මලා කීවාය. එහෙත් මේ කිසිවක්‌ නිමන්ත ගණන් ගත්තේ නැත. ඔහු නිර්මලාගේ සුළු වැරැද්දක්‌ පවා අල්ලාගෙන ඇයට දොස්‌ පැවරුවේය. පහර දුන්නේය. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවීමට යැමට නිර්මලා නිමන්තට කතා කළද ඔහු කුමක්‌ හෝ කියා එය මගහැරියේය. දින කිහිපයක්‌ම වෛද්‍යවරයා හමුවීම සඳහා නිර්මලා ගියේ තම ඥාති සහෝදරියක්‌ සමගය.

එක්‌ දිනක උදෑසන නිමන්ත ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානය වෙත පැමිණ ස්‌ථානාධිපතිවරයා හමුවූයේය. සර් බිරිඳ උදේ කුස්‌සියට ගියා තේ වක්‌කරන්න මම කාමරයට වේලා හිටියේ. ඇවිත් බලන විට බිරිඳ කුස්‌සියේ බිම වැටිලා ඉන්නවා. අනේ සර් මගේ බිරිඳට කරන්ට්‌ වැදිලා නිමන්ත පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඉදිරියේ කියාගෙන ගියේය. ඔහුගේ දෑස්‌වලින් කඳුළු කැට රූරා වැටෙන්නට වූයේය. හරි ඔයා නිවසට යන්න අපි ඇවිත් බලන්නම්. පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කීවේය. පොලිස්‌ නිලධාරීන් නිමන්තගේ නිවසට පැමිණියහ. නිර්මලා කුස්‌සියේ බිම උඩු බැලි අතට වැටි සිටියාය. ඇය අසල හීටරයක්‌ හා වතුර පෝච්චියක්‌ බිම වැටී තිබුණි. පොලිසියද විශ්වාස කළේ නිර්මලාට විදුලිසර වැදී ඇති බවය. පොලිසිය විසින් හදිසි මරණ පරීක්‌ෂකවරයා සිද්ධිය වූ ස්‌ථානයට කැඳවීය. හදිසි මරණ පරීක්‌ෂකවරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා නිර්මලාගේ මළ සිරුර කරාපිටිය ශික්‌ෂණ රෝහලට රැගෙන එනු ලැබීය. ඒ කාලයේ දී මෙම ප්‍රදේශයේ රෝහල්වල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිටියේ නැත.

නිර්මලාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කරනු ලැබුවේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. සී. පී.පෙරේරා මහතාය.

ඔහු මියගිය තැනැත්තියගේ සිරුර බාහිරව සියුම් ලෙස පරීක්‌ෂා කරනු ලැබීය. ඇගේ සිරුරේ කිසිදු තුවාලයක්‌ දක්‌නට ලැබුණේ නැත. නිර්මලාගේ දෑත්වලට හා පාදවලට විදුලිසර වැදුණේ නම් ඇඟිලි රත් පැහැති වී තද වී සම හැකිලී යනු ඇත. එහෙත් නිර්මලාගේ සිරුරේ එවැනි ලක්‌ෂණ දක්‌නට ලැබුණේ නැත. නිර්මලාගේ ගෙලෙහි අසාමාන්‍ය සිරීම් තුවාල කිහිපයක්‌ තිබෙනු අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌විය. ඇඟිලි තුඩුවලින් සිදුවූ තැලීම් තුවාල කිහිපයක්‌ද ගෙලෙහි ඉදිරිපස විය. එමෙන්ම මෙකී තැනැත්තියගේ සිරුරේ අභ්‍යන්තර කොටස්‌ පරීක්‌ෂා කිරීමේදී ඇගේ ගෙලෙහි තිබූ තුවාලවල හමට යටින් ඇති මාංශපේශිවල රුධිරය ගලාගොස්‌ ගෙලෙහි ඉදිරිපස රැඳී තිබෙනු අධිකරණ වෛද්‍යවරයා දුටුවේය.

ඇය ජීවත්ව සිටියදී ඇගේ ගෙලට විශාල බලයක්‌ යොදපු නිසා තමයි ගෙලේ මංශ පේශිවලට ලේ ගලාගෙන විත් තිබුණේ. ගෙලෙහි දෙපැත්තේ අඩකව ආකාරයේ සීරිම් තුවාල තිබුණා. ඒ අනුව මෙම කාන්තාව මියගොස්‌ තිබුණේ විදුලිසර වැදීමකින් නෙවෙයි. ගෙල සිර කිරීමකින් බැව් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

නිර්මලාට විදුලිසර වැදී ඇති බවට ඇගේ සැමියා පවසා තිබුණද ගෙලට විදුලිසර වැදුණු බවට කිසිදු සලකුණක්‌ නොවීය. නිර්මලාගේ සැමියා මෙම සිද්ධියට සැකපිට පොලිස්‌ අත්අඩංගුවට පත්විය. පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. හේ මෙය වසන් කිරීමට නොයෙක්‌ දේ කීවේය. නමුත් මොහුට පොලිසියෙන් ගැලවීමක්‌ නොවීය.

අනේ සර් ඇත්ත කියන්නම්. මාත් බිරිඳත් අතර බහින් බස්‌වීමක්‌ ඇතිවුණා. මට ඇති වූ ක්‌ෂණික කෝපය නිසා බිරිඳගේ ගෙල මිරිකුවා මා මේක කළේ බිරිඳ මරා දැමීමේ ෙච්තනාවෙන් නෙවෙයි. නිමන්ත පොලිසිය ඉදිරියේ එසේ පාපොච්චාරණය කළේය.

මෙහි එන නම්ගම් මනඃකල්පිතය)

* ලලිත් චාමින්ද

« PREV
NEXT »

Facebook Comments APPID