BREAKING NEWS
latest

728x90

468x60

සා.පෙළ ලියන්න යන සිසුවකුට සිසුන් දෙදෙනෙක් මඟදී පහරදීලා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ගම්පොළ ගඟසිරිපුර විභාග මධ්‍යස්ථාන වෙත යමින් සිටි ශිෂ්‍යයකුට එම විභාග මධ්‍යස්ථානය අසල දී තවත් විභාග අපේක්ෂක සිසුන් දෙදෙනකු විසින් පහරදීම නිසා එම සිසුවා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු රෝහල තුළදී විභාගය ලිවීමට කටයුතු කටයුතු සලසා තිබුණි.

ගම්පොළ ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා දොළුව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර එම පාසලේ විභාග මධ්‍යස්ථානය ලෙස ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලය යොදා තිබුණි.

ගණිතය විෂය සඳහා පෙනී සිටීමට එම විභාග මධ්‍යස්ථානය වෙත යමින් සිටියදී ඒ අසල රැකසිටි සිසුන් කණ්ඩායමකින් සිසුන් දෙදෙනෙක් මෙසේ පහරදී තිබේ.

විභාගය ආරම්භවීමට විනාඩි 10 කට පමණ කලින් සිදුවූ මෙම සිද්ධියේදී සිසුවාගේ පපු ප්‍රදේශ‍ය වෙතට එල්ල වී තිබූ පහරවල් නිසා ඔහුට හුස්ම ගැනීමට අපහසුවීමත් සමඟ මෙසේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අවස්ථාවේදී ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස්, සා.පො.අ. චන්ද්‍රසේන බණ්ඩාර යන නිලධාරිහු මැදිහත් වීමෙන් පසු ගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි සෙනරත් යාපා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් රෝහල වෙත ගොස් අවශ්‍ය ආරක්ෂාව සපයා විභාගය පටන්ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබුණි.

ගම්පොළ රෝහල් අධිකාරි වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා රෝහල විභාග මධ්‍යස්ථානයක් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටද උපදෙස් ලබාදුන් අතර වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිසුවාට අවශ්‍ය මූලික ප්‍රතිකාර කරමින් ඔහු විභාගයට සූදානම් කරනුලැබීය.

ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා එම ස්ථානයට පැමිණ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් විභාග දෙපාර්තමේන්තුවද දැනුවත් කරන ලදී.

මේ අතර ගඟසිරිපුර විභාග මධ්‍යස්ථානාධිපතිවරයා සිසුවාගේ ප්‍රශ්නපත්‍ර කට්ටලය පොලිස් ආරක්ෂාව යටතේ රෝහලවෙත එවා තිබුණද විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා එය ඉටුනොවීම පිළිබඳව මතු වූ ගැටලුවට විසඳුම් සොයා කලාප අධ්‍යක්ෂවරයා කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් නිවැරැදි ප්‍රතිකාර ගැනීමෙන් පසු එම සිසුවා රෝහල් කාමරයක් තුළ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ විභාගයට පෙනී සිටියේය.

පහරදීමට අදාළ සිසුන් ද විභාගයට පෙනී සිටින නිසා මේ සම්බන්ධ නීතිමය තත්ත්වය විභාගයෙන් පසුව සිදුකිරීමට පොලිසිය කටයුතු සූදානම් කොට ඇත.

මේ පහරකෑමට ලක්වූ සිසුවාගේ මව්පියන් පවසා සිටියේ පුතා බියකින් විභාගයට පෙනී සිටි බවත් විභාගය අවසන් දවසේ එයා නිවසට රැගෙන යාම සඳහා අපි දෙදෙනාට හා මාමාට පාසල වෙත පැමිණෙන ලෙස දැන්වූ බවය.
« PREV
NEXT »

Facebook Comments APPID