BREAKING NEWS
latest

728x90

468x60

දඹුල්ලේදී එස්.ටී.එෆ්. අතටම කොටු වූ නිධන් කොල්ලකාරයෝ

“මහත්තයෝ.... මහත්තයාලාගේ රාජකාරිය දිහා මම බලාගෙන හිටියේ.... මට ටෙලිෆෝන් අංකයක් දීලා යනවාද...? පොඩි විස්තරයක් තියෙනවා කතා කරලා කියන්නම්....” දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් හමුවේ ගලේවෙල, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ගැමියෙක් මෙසේ පවසා තිබුණේ නිලධාරීන් ඒ පළාතේ සිදුවන වැලි ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමකට ගිය අවස්ථාවේදීය. එහිදී කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ජී. ලාල් ජයතිලක මහතා ඔහුගේ ජංගම දුරකථන අංකය ගැමියා වෙත ලබාදී පැමිණි අතර දෙදෙනා අතර විශ්වාසයක් ද ගොඩ නැගිණි.

ඔහු එදින දවාලේ පොලිස් විශේෂ බළකා අණදෙන නිලධාරීවරයාට ඇමතුමක් දී කියා තිබුණේ සිය ගම්මානයේ නිධන් හෑරීමේ ජාවාරමක් සිදු කෙරෙන බවත් හවසට සියලු විස්තර දන්වන බවත්ය.

“මහත්තයෝ... ඔය පණිවුඩය හරියටම හරි... මිනිස්සු ටික නිධානය හාරන කන්දට ගියා... ආයෙ කට්ටිය පල්ලම් බහින්නේ රෑ වුණාම. දැන් ආවානම් මහත්තයෝ නියම වෙලාව...”

සියලු තොරතුරු අසාගත් ප්‍රධාන ෙපාලිස් පරීක්ෂක ලාල් ජයතිලක මහතාට තොරතුරු සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොවීය. එබැවින් නිධන් කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා වහාම මෙහෙයුමක් සකස් කෙරිණි. 

දිනය පසුගිය 4 වැනිදාය. දවස පුරා තිබුණේ වැහි බර කාලගුණයකි. නිලධාරීන් පිරිස කඳවුරෙන් පිටත්ව ගියේ අදාළ මෙහෙයුම් බිමට පස්වරු 6ට පමණ ළඟා වීමටය. යන අතරතුර ප්‍රදේශය බාර ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ප්‍රදේශයට ගෙන්වා ගන්නට අණදෙන නිලධාරීවරයා කටයුතු කළේය.

ඒ අනුව පැමිණි පොලිස් නිලධාරීහු වහකෝට්ට හන්දියේ ස්ථානගතවී සිටියෝය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අදාළ ස්ථානයට යනවිට වේලාව පස්වරු 6.30ට පමණ විය. වැහි අඳුර සහ පොද වැස්ස නිසා පරිසරය වේලාසනින් අඳුර වෙලාගෙනය. ගැමියාගේ තොරතුරුවලට අනුව අදාළ ස්ථානයට ළඟාවූ නිලධාරීන්ට දැකගත හැකි වූයේ තාප්ප, ගේට්ටු ආවරණය කරන ලද සුවිසල් වත්තකි. පෙනුමින් එය වැට ගහන ලද අක්කර ගණනාවකින් යුතු ඉඩමකි.

කන්ද සහිත ඉඩම කෙළවර මායිම් වී ඇත්තේ පොල් තෙල් මෝලකිනි. ඉඩම පුරා වගා බිමකි. මඤ්ඤොක්කා, බඩ ඉරිඟු, බෝංචි, මෑ කරල් සරුවට වැවී ඇත. බෝග වගාව නිසා කන්ද ඉහළ සිටින අයට පහළ හෝ පහළින් සිටින අයට ඉහළ පෙනෙන්නේ නැත. කන්දේ උස මීටර් 150ක් පමණය. සැක සහිත ඉඩම අසළට ගිය නිලධාරීන්ට කන්ද මුදුනින් ඇසුණේ බැකෝ යන්ත්‍රයක ශබ්දයයි. අතරින් පතර නැගෙන්නේ මැෂිම ආධාරයෙන් ගල් විඳීමේ හඬකි.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරීවරයා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේ කණ්ඩායම් දෙකක් වශයෙන් සූදානම් වන ලෙසය. දෙපිරිසම මාර්ග දෙකක් ඔස්සේ කන්ද තරණය කරන්න උපදෙස් ලැබුණේ අනතුරුවය. මිනිත්තු කීපයක් තුළ සෙබළු පිරිස සැක සහිත කැණීම් සිදු කරන භූමිය වටලා තිබුණි. කණ්ඩායම් දෙකේ රහස් සංඥා භාවිතයෙන් නිශ්චිත අවස්ථා උදා විය.

“අපි එස්. ටී. එෆ් එකෙන්.. කවුරුත් කළබල කරන්න එපා... සේරමලා වැඩ නවත්වන්න...”

ගාම්භීර හඬ වත්ත පුරා සිසාර ගියේය. මේ දැඩි හඬින් යුතු අවවාදය දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරීවරයාගෙනි. ක්ෂණයකින් කන්ද මුදුනේ යන්ත්‍ර සූත්‍රවලින් කරන කැණීම් නතර කෙරිණි. පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ගේ රැකවල් ඒ තරමට තර වී තිබුණි. කැණීම් සිදු කෙරෙන ස්ථානය පසෙක ඉවත දැමූ පස් කඳුය. තවත් තැනෙක ඉවත් කරන කළුගල් කැබලිය. ඒ අතර යෝධයෙක් සේ එකට වැඩ කරන බැකෝ යන්ත්‍රයකි.  
බැකෝ යන්ත්‍රය ක්‍රියා කරමින් සිටි පුද්ගලයා බිමට පැන්නේ බයෙන් භීරන්ත වීගෙනය. ස්ථර තුනකට කැණීම් කර තිබූ වළේ ගැඹුර අඩි 25ක් පමණය. එහි පතුලේ වැඩ කරමින් සිටි පුද්ගලයෝ දෙදෙනෙකි. එක් අයෙක් හැමරය භාවිතයෙන් ගලක් විදිමින් සිටින අතර අනෙකා කුලු ගෙඩියක් මගින් ගලක් කඩමින් සිට ඇත. මොහොතක් ගත වන්නට මත්තෙන් තිදෙනාම නිලධාරීන්ගේ භාරයට පත්වූහ.

වැඩි වේලාවක් ගත වන්නට මත්තෙන් හැමර් මැෂිම භාවිතා කරමින් සිටි පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග පෑවේ හිතවත් කමකි. අණදෙන නිලධාරීවරයා සියල්ල අවධානයෙන් බලා සිටියේය‍

“පල්ලෙහා තෙල් මෝල මගේ... මේ ඉඩමත් මගේ... තෙල් මෝලට වුවමනා ටැංකියක් බස්සන්න මෙතන වල හාරන්නේ... හාරලා ඒකට ෆාම් ඔයිල් දාන්න හදන්නේ ගබඩා කරන්න පහසුවට.”

මෙසේ එක දිගටම විස්තර කරමින් සිටියේ කැණීම් කරමින් සිටි වළෙන් ගොඩට ආ පුද්ගලයාය.

“නිධන් හාරන ඔත්තුවකට අපි ආවේ. හාරන තැන කන්ද මුදුනෙ ගලක් මැද කොටසක්. දැන් පොල් තෙල් මෝලක් ගැන කියනවා. පොල් තෙල් විකුණන තැනකට ෆාම් ඔයිල් සම්බන්ධ වෙන්න බෑ. මොකක් හරි ජාවාරමක් බව තේරුණා. අපි ඒක අඟවන්නෙ නැතුව හිටියා. කැණීම් කරන තැන පොල් තෙල් පහනක්, කපුරු, දෙහි, සාම්බ්‍රානි, දුම් කබල වගේ දේවල් තිබුණා. මොනවා හරි පූජාවක් කරපු බව පේනවා. ඩෙටනේටර්, සේවා නූල් ගල් විඳින හැමර්, ගල් කඩන හැමර් සහ රසායන ද්‍රව්‍ය  වර් කීපයක් ඒ අසළ තිබුණා. ඒ අතර කන්ද පාමුල ඇති තෙල් මෝල සිට අදින ලද විදුලිය වයරයක් හා බල්බයක් තිබුණා.”

අණදෙන නිලධාරී ලාල් ජයතිලක මහතා පවසයි. මේවනවිටත් අඳුර පරිසරය වෙලාගෙනය. එහෙත් කැණීම් සිදු වූ වළ පරික්ෂාවට ලක් කිරීමට නිලධාරීහු කටයුතු කළහ. පර්වතය මැද කැණීම් තුළ මතුවන සියලුම ගල් පතුරු වශයෙන් ගැලවී යයි. පතුලේ අඩි කීපයකින් විශ්කම්භය සහිත දෝනාවකි. එය අඩි 5ක් පමණ දිගය. කෙළවර අඩි 2 2/1ක් 3ක් දිග පළල සහිත හතරැස් ගල් පියනකි. ජාවාරම්කරුවන්ගේ අරමුණ වී තිබුණේ එම ස්ථානය බිඳ දැමීමය. පැය ගණනක් පිරිස කල් ගෙවූයේ නිධන් හෑරූ වළ අසලය. දැන් වේලාව රාත්‍රී 12ට පමණය. නිලධාරීන් පැමිණියේ තෙල් මෝල බව කී තැනටය.

පෙනෙන්නට ඇති සාධක අනුව එහි ෆාම් ඔයිල් කලවම් කරන බව පැහැදිලි විය. පසෙක නැවැත්වූ ටිපර් රථයකි. එහි පැටවූ කෑන් 246කි. ඒවායේ පොල්තෙල් හා ෆාම් ඔයිල් කලවම් කර තිබිණ. මේ තොගය පසු දින මහනුවර තොග වෙළෙඳ සළකට අලෙවියට යැවීමට සූදානමින් තබා තිබී ඇත.

“නිධානය ගොඩ ගත්තට පස්සෙ තව අදහසගක් තිබිලා තියෙනවා. හාරපු වළේ ලොකු ටැංකියක් හදලා ඒකට ෆාම්  ඔයිල් දානවා.  එතනින් එන තෙල් පොල් තෙල්වලට කලවම් වෙනවා. පස්සෙ මෝටරයක් මගින් තරාදිය ළඟට යනවා. එතනදී කිරලා විකුණනවා. පිරිසිදු පොල් තෙල් විදිහට.” 

අණනෙ නිලධාරීවරයා පවසයි. මේ අතර බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු කීවේ මෙවැන්නකි.

“තෙල් ටැංකියේ කොන්ත්‍රාත් එක කරන්නේ නුවර නීතීඥ මහත්තයෙක්. මම වැඩට අවේ එයා මාර්ගයෙන්.”
මේ අතර ගලේවෙල පොලිසියේ නිලධාරීන් පිරිසක් එතැනට ගෙන්වා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ස්ථානයේ රඳවා සැකකරුවන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත රුගෙන යන්න පියවර ගනු ලැබීය.

එය වටහාගෙන සිටි ජාවාරම් ප්‍රධානියා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ කුළුපග වීමට උත්සාහ කරමින් සිටියේය.

“සර්.... දැන් මගේ ගෙදර රුපියල් කෝටි හතර හමාරක් තියෙනවා. ඕනම දෙයක් කරන්නම් මම බේරලා අනිත් දෙන්නා ගෙනියන්න...” යැයි ආයාචනා කළේය. ඊට ඇහුම්කම් දුන් අණදෙන නිලධාරීවරයා “හරි බලමු මොනවා හරි කරමු” යනුවෙන් පිළිතුරු සැපයීය. එහෙත් සූක්ෂම වූ නිලධාරීහු සැකකරුවන් තිදෙනා ගලේවෙල පොලිසිය වෙත රැගෙන ආහ. පොලිසිය ඉදිරිපිටදී ජාවාරම් මහ මොළකරු කියා තිබුණේ “සර්.... මම ඉවරයි” කියාය.

සැකකරු නිධානය හෑරූ බව කියන්නට මැලිය. මීට ඉහතදී හෑරෑ වළවල් කීපයක් ඉඩම තුළ දකින්නට ඇත. එක් කැණීමක් සිදුකළ ගලක් මත අලි පා සළකුණකි. තව එකක පංච ලෑල්ලක සංකේතයකි. මහා පරිමාණ ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටින ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඔහු ජීවත් වන්නේ ද කැණීම් සිදු කළේ ද මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ගම්මානයක් තුළය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එහි රැඳී සිටියදී සැකකරු සොයා පැමිණි පුද්ගලයෝ අට දෙනෙකි. අයෙක් රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකි. තව කෙනෙක් මහනුවර ව්‍යාපාරිකයෙකි. ඔහු මොහුට ලබා දී තිබූ මුදල රුපියල් එක් කෝටි හැත්තෑපන් ලක්ෂයකි. සකකරු මේ ආකාරයට බොහෝ ස්ථානවලට ණයකරුවෙක් වී ආර්ථික අපහසුතා මැද සිටි බව පැහැදිලිය. එම අඩු පාඩු පියවා ගැනීමේ අරමුණෙන් නිධන් හෑරීම සිදු කර තිබෙන බව සැක කෙරේ.
මීට ඉහතදී නිධන් හාරමින් සිටියදී පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබුණි. එහි සිටි යකදුරුගේ පවුලේ ඥාතීන් පිරිස රැඳී සිටියේ පෙර කී තෙල් මෝල තුළය. ඒ අනුව මොහු මිනිසුන් යොදවා නිධන් හෑරීම සිදු කළ බවට සාක්ෂි හමුවී ඇත.

ප්‍රශ්න කිරීම හරහා හෙළි වී ඇත්තේ මෙම ඉඩම අතීතයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් එකක් බවත් මේ පුද්ගලයා ඇතුළු පිරිසක් ඉඩම් හොරෙන් අල්ලාගෙන බොරු ඔප්පු සකසාගෙන ඇති බවත්ය. ඉන්පසුව ඔවුන්ගේ ඥාතීන් සමඟ අක්කර ගණන් සහිත ඉඩමේ පදිංචි වී ඇත. පසු දින පෙරවරුවේ ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීවරයා, සංවර්ධන නිලධාරීවරයා ඇතුළු පිරිස කැඳවා තෙල් ගුදම් පරික්ෂාවට ලක්කර ලබාගත් සාම්පල රස පරීක්ෂක වෙත යොමු කරනු ලැබීය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 12 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ සහ කලාප අණදෙන නිලධාරී ත්‍රීකුණාමය පොලිස් අධිකාරී කරුණාසේන මහතාගේ උපදෙස් මත දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජී. ලාල් ජයතිලක, දෙවැනි කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක අයි. රණතුංගගේ, උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයවර්ධන, සිල්වා, පොලිස් සැරයන්වරුන් වන 10110 අමරසිංහ, 8786 ජීවානන්ද, 5392 ජයරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 76087 ලේකම්ගේ, 68336 කුමාර, 25341 කුමාර, 81349 සමරනායක සහ 80880 විජේසුන්දර යන නිලධාරීහු වැටලීමට දායක වූහ.




කතාව  - සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - කාංචන කුමාර ආරියදාස


« PREV
NEXT »

Facebook Comments APPID