අ. පො. ස. (සා. පෙළ) විභාගය මේ දිනවල පැවැත්වේ. එම විභාගය සඳහා දිවයිනේ නන් දෙසින් දරුවෝ ලක්ෂ ගණනක් පෙනී සිටිති.
බොහෝ දරුවෝ සිය මවුපියෝ කැටුව කලින්ම විභාග ශාලා වෙත ගොස් පොත් පත් පාඩම් කරති. විභාගයට සූදානම් වෙති.
මේ අතර අලුයම හතරට පමණ අවදි වී අන්ධකාරය මධ්‍යයේම පහට පහමාරට පමණ තනිවම නිවෙසින් පිටවී කිලෝමීටර් 14ක් පයින්ම ගොස් විභාගය ආරම්භ වෙන්න ඔන්න මෙන්න තිබියදී විභාග ශාලාව වෙත දුව ගොස් විභාගයට පෙනී සිටින දිරිය දරුවන් හතර දෙනකු අරණායක දෝතල්ඔය වත්තේ ඇලිකේදෙණිය කොටසේදී පසුගියදා (16දා) අපට හමුවිය.
මේ ඔවුන්ගේ කතාවයි. ඔවුන් නමින් නවරාජ්, පාර්තීබන්, ආර්. ප්‍රියා සහ ආර්. ශාන්තීය.
මේ අය අපට හමුවන විට පස්වරු 3.45ට පමණ ඇත. මෙදින (16දා) සා. පෙළ විභාගය පස්වරු 1.30ට අවසන් වී ඇත. එතැන් සිට පාගමනින් කිලෝමීටර් 14ක් ගෙවා පැමිණි පසුව මෙම පිරිස අපට හමු විය.
පුවිරාජ් හා වසන්ති යන දෙදෙනාගේ පුත්‍රයා වන නවරාජ් සහ රාජේෂ් ඛන්නා හා දේවි යන දෙදෙනාගේ පුත්‍රයා වන පාර්තීබන් අරණායක දෝතල්ඔය වත්ත අක්කර 50 කොටසේ පදිංචිව සිටී. අක්කර 50 කොටසට ඇලිකේදෙණිය සිට තවත් කිලෝමීටර් පහක් යා යුතුය.
ඒ අනුව මේ දරුවෝ දෙදෙනා කිලෝමීටර් 19ක් පයින් ගමන් කර විභාගයට යති. නවරාජ් සිංහල මාධ්‍යයෙන්ද පාර්තීබන් ෙදාළොස්බාගේ දෙමළ මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන්ද අධ්‍යාපනය ලබයි. දෙදෙනාගේම මවුපියන් වත්තේ කුලී වැඩ කරමින් යාන්තමින් උපයා ගන්නා මුදලින් තම දරුවන්
පෝෂණය කරයි.
අපි සමඟ අදහස් දැක්වීමට එක්වූ නවරාජ් සිසුවා “මම ඉගෙන ගන්නේ ෙදාළොස්බාගේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන්. මම හත පන්තිය දක්වා ගියේ බුලත්කොහුපිටිය දේදුගල පාසලට. එහෙට ගියේත් පයින්. කිලෝමීටර් හයක් විතර යන්න තිබුණා. නමුත් එහේ පාරක් තිබුණේ නැහැ.
එහෙන් මෙහෙන් පැනලා තමයි යන්න තිබුණේ. ඒ කාලෙදි ගුරුවරුන් මාරුවෙලා ගිහිල්ලා ඉගෙනීම අඩපණ වුණා. ඊට පස්සේ එහේ කට්ටියත් අපේ ගෙවල්වල කට්ටියත් කිව්වා වෙන ඉස්කෝලෙකට යන්න කියලා. ඊට පස්සේ තමයි ෙදාළොස්බාගේ කනිෂ්ඨ විද්‍යාලයට ගියේ.
මේ පාර කැඩිලා නිසා බස් වැඩ කරන්නේ නැහැ. පාසල් බස් රථයක් විතරක් යනවා මාසෙකට රුපියල් 1500ක් වගේ අරගෙන. ඒකත් හැමදාම නැහැ. වැඩි දවසක් අපි යන්නේ පයින්මයි. මේ ටිකේ නිවාඩු කාලේ නිසා කොහොමටත් ඒ බස් එක එන්නේ නැහැ. ඒ නිසා අපි පයින් යනවා. පයින් ගිහින් වෙන මහන්සියටත් එක්ක හොඳින් ඉගෙනගෙන රැකියාවක් කිරීමට තම අනාගත බලාපොරොත්තුව” යැයි පැවැසීය.
පිරිමි දරුවන් දෙදෙනා පැමිණ විනාඩි පහළොවකට පමණ පසුව ගැහැනු දරුවන් දෙදෙනා අප සිටි ස්ථානයට පැමිණියහ. රාමචන්ද්‍රන් හා මනිමේකලා යන දෙදෙනාගේ දියණිය වන ආර්. ශාන්ති සහ රාමචන්ද්‍රන් හා පරමේෂ්වරී යන දෙදෙනාගේ දියණිය වන ආර්. ප්‍රියා යන මෙම දිරිය දියණියන් දෙදෙනා ද කිලෝමීටර් 14ක් දුර පාගමනින් ගොස් විභාගයට පෙනී සිටී.
මේ දෙදෙනාද දෙළොස්බාගේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබයි. මේ අයගේ මවුපියන්ද වතුවල වැඩ කරන අය වේ. අප සමඟ අදහස් දැක්වීමට එක් වූ ආර්. ප්‍රියා ශිෂ්‍යාව පැවැසුවේ තම බලාපොරොත්තුව හොඳින් ඉගෙන ගෙන ගුරුවරියක් වීම බවයි. ආර්. ශාන්ති දැරියගේ බලාපොරොත්තුව චිත්‍ර ශිල්පිනියක් වීම බව පවසයි.
“දෝතල්ඔය පැත්තෙන් අරණායක පාසලකට නොයන්නේ මන්දැයි විමසූ විට මේ අය පැවැසුවේ දේතල්ඔය පාර හදලා බස් එක දැම්මෙත් ළඟදී, ඒ නිසා අපි කලින් ඉඳලා ගිය ඉස්කෝලෙටම යනවා අපිට පුරුදු එහේ යැයි” පැවැසීය.
සියලු පහසුකම් සහිත පාසල්වලින් ඉගෙනගෙන දහස් ගණන් වියදම් කර පෞද්ගලික පන්ති ගොස් සමත් වන දරුවන්ට ඔවුන්ට අවශ්‍ය නොවන නොයෙකුත් තෑගි බෝග දීමට ඉදිරිපත් වන ආයතන සැබැවින්ම අධ්‍යාපනය ලැබීමේ ඕනෑකම හා කැපවීම ඇති මේ දරුවන් විභාග සමත් වූ විට නොව ඔවුන් පාසල් යෑමට විභාගයට ඉදිරිපත් වීමට දරන මේ ප්‍රයත්නයට ඔවුන්ව අගයා කිසියම් හෝ ත්‍යාගයක් පිරිනැමිය හැකි නම් කොතරම් වටනේ දැයි මෙහිලා සටහන් කරමු.