BREAKING NEWS
latest

728x90

468x60

මංගල උළෙලකදී හමුවූ තරුණ කතකගේ පින්තූර මුහුණපොතේ දමනවා යෑයි මුදල් ගැරූ අයෙක්‌ දැලේ

මංගල උත්සවයකදී මුණ ගැසීමෙන් පසුව හිතවත්කමක්‌ පෙන්වා සිය ජංගම දුරකථනයෙන් ලබාගනු ලැබූ විවාහක කාන්තාවකගේ ඡායාරූප මුහුණ පොතේ පළ කරන බවට බිය ගන්වා අවස්‌ථා දෙකකදී ඇයගෙන් රුපියල් විසිහතර දහසක මුදලක්‌ ලබා ගත් බව කියන තරුණයෙකු බියගම පොලිසිය මගින් පසුගිය 07 දා පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ ආකාරයටම මේ කාන්තාවගෙන් තුන්වන වතාවටත් තවත් රුපියල් දස දහසක මුදලක්‌ ඉල්ලා එය ලබා ගැනීමට ගිය අවස්‌ථාවේ බියගම, බණ්‌ඩාරවත්ත හන්දියේදී මේ සැකකරු අත්අඩංගුවට පත්විණි.

එම විවාහක කාන්තාව මල්වානේ රස්‌සපාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණ විවාහක කාන්තාවක්‌ වන අතර සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණයෙකු වේ. මේ දෙදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති.

පසුගිය ඔක්‌තෝබර් මාසයේ පවත්වනු ලැබූ මංගල උත්සවයකදී මේ දෙදෙනා මුණ ගැසී තිබේ. එහිදී එම තරුණයා මෙම විවාහක කාන්තාවට හිතවත්කමක්‌ පෙන්වා සිය ජංගම දුරකථනයෙන් ඇයගේ ඡායාරූප කීපයක්‌ම ගෙන ඇත. ඉන් පසුව මෙම තරුණයා විසින් එම කාන්තාවට සැමියා අතහැර තමා සමග විවාහ වීමට එන ලෙසට යෝජනාවක්‌ කරන ලදී. මේ අවස්‌ථාවේ ඇය එය ප්‍රතික්‍ෂේප කළ විට ඇයගෙන් ලබාගත් ඡායාරූප මුහුණු පොතේ පළකරන බවට බිය ගන්වා රුපියල් දස දහසක මුදලක්‌ ඇයගෙන් ඉල්ලා තිබේ.

මීට බියට පත්වූ එම කාන්තාව ඇයගේ නිවෙසට එන ලෙසට එම තරුණයාට දන්වා රුපියල් දස දහසක මුදලක්‌ දී ඇත. මේ අවස්‌ථාවේ තමා පැමිණියේ ත්‍රිරෝද රථයකින් කියමින් ත්‍රිරෝද රථයට දීම සඳහා රුපියල් දෙදහසක මුදලක්‌ද ඉල්ලා තිබේ. එම මුදලද ඇය දී ඇත.

පසුගිය 01 වැනිදා ද එම තරුණයා නැවත ඇයගේ නිවසට ත්‍රිරෝද රථයකින් පැමිණ යළිත් වරක්‌ රුපියල් දස දහසක මුදලක්‌ හා ත්‍රිරෝද රථයට පවසමින් රුපියල් දෙදහසක මුදලක්‌ද ඉල්ලා ගෙන ගොස්‌ ඇත.

පසුගිය 06 වැනිදා එම තරුණයා නැවතත් ඇයගෙන් තවත් රුපියල් දස දහසක මුදලක්‌ ඉල්ලා ඇත. පසුව ඇය මේ බව බියගම පොලිසියට පැමිණිලි කොට එම තරුණයාට මුදල් දීමට බියගම, බණ්‌ඩාරවත්ත හන්දියට පැමිණෙන ලෙසට දන්වා තිබේ. ඒ අනුව එතැනට එම තරුණයා පැමිණෙන විට අවට සැඟවී සිටි පොලිස්‌ නිලධාරීන් විසින් මේ සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සැකකරු මත්කුඩුවලට ඇබ්බැහිවූ අයෙකු බවට පවසන පොලිසිය ඔහු මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර ගෙන යයි.

බියගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ප්‍රේමලාල්, සැරයන් ජයරත්න (29468), පො. කො. ජයලත් (73251), ප්‍රියන්ත (45454), ගුණරත්න (37826) හා කාන්තා පො. කො. නිරන්ජලා (4858) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කරනු ලැබූහ.
« PREV
NEXT »

Facebook Comments APPID