කොළඹ නගර සභාවට රුපියල් තුන් කෝටි විසි ලක්‌ෂයක අලාභයක් සිදුකරමින් ප්‍රමිතියෙන් බාල ජල බවුසර් දෙකක් මිලදී ගැනීම සඳහා සූදානම් වන බව නගර සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජල බවුසරයක් රුපියල් හාර කෝටි අනූ නව ලක්‌ෂයකට (රු. 49,913,486) සැපයීම සඳහා සැපයුම්කරුවකු ඉදිරිපත් කළ මිල ගණන් නගර සභාවේ තාක්‌ෂණික කමිටුව අනුමත කර තිබියදී එක් ජල බවුසරයක් සඳහා රුපියල් හය කෝටි හැත්තෑ අට ලක්‌ෂයක් (රු. 67,850,000) මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුට ලබාදීමට උත්සාහ කරන්නේ දේශපාලන බලපෑමක් මත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම අදාළ සැපයුම්කරු විසින් සැපයීමට සූදානම් වන ජල බවුසර් දෙක ප්‍රමිතියෙන් උසස් නොවන බව ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව විසින් ද නිර්දේශ කර ඇත.
ඒ අනුව දේශපාලන බලපෑම් මත කොළඹ ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුව වෙත ප්‍රමිතියෙන් බාල වෙළෙඳපොළේ වටිනාකමට වඩා රුපියල් කෝටි තුනකට අධික මිල ගණනක් ඉදිරිපත් කළ සැපයුම්කරුට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරන ලෙස ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තු සේවකයෝ ඉල්ලා සිටිති.