BREAKING NEWS
latest

728x90

468x60

විදුලි බිල වැඩි ද? රයිස් කුකරයට වැය වන විදුලිය හරි අඩකින් අඩු කර ගන්න හැටි මෙන්න

රයිස් කුකරය භාවිතයෙන් බත පිස ගැනීමට බොහෝ ගෘහණියන් පුරුදු වී ඇත්තේ එහි ඇති පහසුවත්, කාලය හා ශ්‍රමය ඉතිරි කර ගත හැකි වීමත් නිසා.

හැබැයි රයිස් කුකරයට වැය වන විදුලිය තරමක් ඉහළ අගයක් ගන්නවා.

මේ නිසා විදුලි බිල ඉහළ යාම ගෘහණියන්ට ඇති එක් ගැටළුවක්. නමුත් අද අපි කියන්න සූදානම් වෙලා ඉන්නෙ රයිස් කුකර් එකට වැය වන විදුලිය හරි අඩකින් අඩු කර ගන්න පුළුවන් සාර්ථක උපක්‍රමයක්.

අපේ අත්තම්මලා නම් බතට වතුර තියන ප්‍රමාණය හරි හැටිම දැනගෙන හිටියා.


බතට වතුර තියලා ඇඟිලි පුරුකේ උසට ජලය තියනවාද කියලා ඒ අය ඇඟිල්ල තියලා බලනවා ඔයාලත් දැකල ඇති සමහර විට. එක එක සහල් වර්ගයට මේ ප්‍රමාණය සුළු වශයෙන් වෙනස් වුණත් පොදුවේ බතට වතුර තියන්නෙ එක්තරා මිම්මකට. ඒක පළපුරුද්දෙන් ආපු මිම්මක්.

නමුත් රයිස් කුකරයේ දි නම් එය තරමක් වෙනස් වුණත් ලොකු හානියක් වෙන්නෙ නැහැ. ඒකට හේතුව වතුර නැටීම සහ වාෂ්ප වී ඉවත් වීම සහ රයිස් කුකරය warm අවස්ථාවට පත් වී උෂ්ණත්වය අඩු සෙමින් බත ඉදෙන ක්‍රියාවලිය ඉබේම සිදු වන නිසා.

හැබැයි වැඩිපුර වතුර තියනවා කියන්නෙ වැඩිපුර විදුලිය අපතේ යැවීමක්. මොක ද වැඩිපුර තැබූ ජලය පරිමාව ද වාෂ්ප කර ඉවත් කිරීම සඳහා අමතර විදුලියක් වැයවන නිසා.

ඒක නිසා බතට වතුර තියන්න ඕනෙ කොපමණ ප්‍රමාණයකට ද කියලා හරියටම හිතා ගන්න මෙන්න මේ දේ අනුගමනය කරන්න.

සහල් මට්ටමට වඩා අඟල් බාගයකට නොවැඩි වන සේ වතුර තියන්න. ඉතින් අලුත් සහල් වර්ගයකට නම් වතුර මීට තරමක් අඩුවෙන් තියෙන්න. මොක ද සහල්වලත් ජලය තිබෙන නිසා.

ඉතින් වතු තියෙන ප්‍රමාණය ගැන ඉගෙන ගත්ත නේ. දැන් පියන වහලා, පේනුව සවි කරලා, ස්විච් එක ඔන් කරලා, රයිස් කුකර් එකේ ස්විචය Cook අවස්ථාවට තද කරන්න. මිනිත්තු 8-12 ත් අතර කාලයක දී වතුර නටන්න ගන්නවා.

වතුර නටන්න පටන් ගෙන ටික වේලාවකින් ස්විචය ක්‍රියා විරහිත කර, පියන හැර, හට්ටිය මඳක් ඔසවන්න. එවිට රයිස් කුකරයේ Cook ස්විචය Warm අවස්ථාවට පත් වේවි. දැන් නැවත හට්ටිය ස්ථාන ගත කරන්න. පියන වසා ප්ලග් එකේ ස්විච් එක ඔන් කරන්න.

ඒත් රයිස් කුකරයේ ස්විච් එක Warm අවස්ථාවේ ම තබන්න. මෙසේ විනාඩි 12-15 ත් අතර තබා, ඉන් පසු රයිස් කුකරයේ ස්විචය Cook අවස්ථාවට පත් කරන්න.

එවිට මිනිත්තු දෙක තුනකින් එය නැවත ඉබේම ඉහළට එස වී Warm අවස්ථාවට ඒවි. මේ වන විට බත හොඳින් සකස් වී තිබෙනු ඇති.

මෙයින් අපි කළේ රයිස් කුකරය අඩු වේලාවක් Cook තත්ත්වයේ තබා ගැනීම යි. මේ නිසා වැය වන විදුලිය හරි අඩකින් අඩු වෙනවා. මොක ද Warm අවස්ථාවට යන්නේ Cook අවස්ථාවට යන විදුලියෙන් අඩකටත් අඩු ප්‍රමාණයක් වන නිසා.
« PREV
NEXT »

Facebook Comments APPID