BREAKING NEWS
latest

728x90

468x60

ගිනස්‌ ඔසරියට පාසල් ළමයින් පටලවා ගැනීම ගැන ළමාරක්‍ෂක අධිකාරියෙන් පරීක්‍ෂණයක්‌

මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක්‌ සඳහා නිල ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

එම උත්සවය සඳහා අලවතුගොඩ සරත් ඒකනායක විදුහලේ දරුවන් 250 දෙනකු පමණ සහභාගි කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක්‌ මත පරීක්‍ෂණ ආරම්භ කළ බව ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ඊයේ (22 දා) පැවසුවාය.

ලෝකයේ දිගම ඔසරි පොට ලෙස ගිනස්‌ වාර්තාවක්‌ තැබීම සඳහා මනාලියකගේ ඔසරි පොට කිලෝමීටර් තුනකුත් මීටර් දෙසීයක්‌ දුරට පාසල් දරුවන් යොදා අල්ලා ගැනීමට සලස්‌වා තිබූ අතර දරුවන් මේ සඳහා යොදාගෙන තිබුණේ දැඩි අව් රශ්මියක්‌ සහිත දහවල් කාලයේය. මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ද මෙම උත්සවයට සහභාගි වී සිටියේය.

පෙරේදා (21 දා) සිදු වූ මෙම සිද්ධියෙන් දරුවන් බලවත් අපහසුතාවට පත් වූ බවට අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

විදුහල්පතිවරුන්ට අවශ්‍ය ලෙස අනවශ්‍ය කටයුතු සඳහා දරුවන් යොදා ගැනීමට ඉඩදිය නොහැකි බවද සභාපතිවරිය සඳහන් කළාය.

පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිවක්‌ ප්‍රකාශ නොකරන බව මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන ඇමැති සරත් ඒකනායක මහතා පැවසීය.

ප්‍රධාන ඇමැතිවරයාගෙන් 'දිවයින' විමසා සිටියේ එලෙස පාසල් දරුවන් යොදා ගත්තේ දැනුවත්ව ද යන්නය.




« PREV
NEXT »

Facebook Comments APPID