BREAKING NEWS
latest

728x90

468x60

යක්කලමුල්ලේ කෝටි ගණනක් හොරා කෑ මහ හොරා ඇල්ලූ පොලිස් මෙහෙයුම මෙන්න

රටට පෙනෙන්නට, උගතෙක්, බුද්ධිමතෙක්, සමාජ සේවකයෙක් වශයෙන් සුපිරි ජීවිතයක් ගත කරන හිනිදුම මහත්තයා ගමන් බිමන් යන්නේ මිල අධික සැප වාහන වලිනි. අද ආ වාහනය හෙට නැත. තවත් වාහනයකින් ඊයේ ආවද අද එන්නේ එවැනිම වෙනත් සුපිරි වාහනයකිනි. එසේ වැඩ පෙන්වා කෝටි ගාණනක් මුදල් වංචාවක සුල මුල සොයා ගැනීමට ගාල්ල යක්කලමුල්ල පොලිස් ස්ථානය සමත් වන්නේ වංචාකරුවන්ට මොනම ආකාරයෙන් වංචාව සිදු කර ද ඒවා විසදීමට ලංකාවේ පොලිසිය තවමත් සමත් බව මොනවට කියා පාමිනි.

මේ කතාවේ කතා නායකයා අරුම පුදුම තැනැත්තෙකි. ලංකාවේ සෑම තැනම යමින් කෝටි ගණන් මුදල් වංචා කළ ද ඔහු සිය නවාතැන ලෙස තෝරා ගන්නේ ප්‍රදේශයේ පන්සලක. කිසිවකුටත් සැක නොසිතෙන ආකරයට පන්සක රාත්‍රිය ගෙවන ඔහු තවත් දිනක වෙනත් පන්සලකට යයි. කෙසේ නමුත් අවසානයේ දී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ද පන්සලක සිටියදීය.

මේ කතා නායකයා වයස අවුරුදු 38ක් පුද්ගලයෙක් වන අතර ඔහුගේ පදිංචිය ලෙස සටහන් වන්නේ හිනිදුම ප්‍රදේශයයි. ඔහු සොරකම ආරම්භ කරන්නේම විශ්වාසය වැඩි කරමිනි. වසර 8කට ආසන්න කාලයක් සිදු කළ හොරකම්, වංචා නිසා ලංකාවේ උසාවි හයකින් ඔහු වරෙන්තු කර තිබිණි.

ආරම්භයේ දී සුළු සුළු ව්‍යාපාර සිදුකර මෙම කතා නායකයාට කාර් රථයක අවශ්‍යතාවය දැනේ. ඒ අනුව කාර් රථ බදු පදනම මත (රෙන්ට් කාර්) ලබා දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පුවත්පත් වලින් බලා කාර් රථයක් රෙන්ට් ක්‍රමයට ලබා ගෙන භාවිතයට ගන්නා ලදී. ඔහු මෙසේ ලබා ගත් කාර් රථය රෙන්ට් කාර් ආයතනයකින් ලබා නොගත් අතර පුවත්පත් දැන්වීමක් අනුව නිවෙසකින් ලබා ගෙන ඇත. පළමු මාස කිහිපය තුළ ඉතා හොදින් අදාළ මුදල් ගෙවාගෙන මෙම කාර් රථය භාවිතා කරන මෙම පුද්ගලයා තව තවත් තම ව්‍යාපාර සදහා මුදල් යෙදවීමත් සමඟ අදාළ මුදල් ක්ෂනිකව නැවත ගලා නොඒම නිසා ඔහු හිර විය. මේ අතර ඔහු සිදුකරේ තම සන්තකයේ තිබුණු බදු පදනම මත ලබා ගත් රථය උකස් කිරීමයි. උකස් කර එම මුදලින් තමා වූ ණය ද ගෙවා තවත් ස්ථානයකින් බදු පදනම මත වාහනයක් ගෙන භාවිතා කළේය. 
නොපුරුදු වු මෙම වෙළෙඳාම ඔහුට හුරු වෙන්නට පටන් ගත්තේ මේ කාලය තුළදීය. මේ අකාරයෙන් වාහන කිහිප තැනකින් ගත් ඔහු සෑම තැනටම ණය ගැතියකු විය. කෙසේ හෝ මේ කාලය තුළ ඔහු ආයෝජනය කර ව්‍යාපාරවල ද මුදල් ලැබෙමින් තිබුණ ද මෙම වාහන සදහා වු ණය ගෙවීමට ඔහුගේ උනන්දුවක් නොවීය. හොරකම හා වංචාව ලේසි දෙයක් ලෙස සිතූ ඔහු දිගින් දිගටම මෙම වාහන රෙන්ට් ආයතනවලින් වාහන ගෙන උකස් කිරීම සිදු කරගෙන ගියේය. පුවත්පත් දැන්වීම හරහා නිවෙස්වලට ගොස් ගන්නා වාහන හිමිකරුවන් මාස තුනක් පමණ යන විට සමීපතමයන් බවට පත් කිරීමට මොහු සමත් විය. ඒ සදහා අරුම පුදුම හැකියාවකින් යුතු වු මොහු වාහනයේ හිමිකරුටත් වඩා ඔහුගේ බිරිය සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමින් ඒ බිරියට ව්‍යාපාර සිදුකරන හැටි ද උගන්වයි. මෙසේ සිදු කරනා අතර එම බිරින්දෑවරුන් සමඟ යහන්ගතවීමට තරමට ඔහු විශ්වාසවන්ත පුද්ගලයකු බවට පත්වෙයි. සිය වාහනයේ බදු මුදල් නොලැඹීම ගැන එම පවුලේ සැමියා විමසන අවස්ථාව වන තුරු එම පවුල සමඟින් කිට්ටු සම්බන්ධතාවක් ගෙන යන මේ පුද්ගලයා එම බදු මුදල් මාස දෙක තුනක ප්‍රමාදය ගැන විමසු විටම එම පවුලෙන් ඈත් වන්නේ කාර් රථය ද සමඟිනි. බෙහෝ විට එම අවස්ථාව වන විට එම රථය කාට හෝ උකස් තියලාය. 

එසේ නොමැති නම් ඔහු එය වෙන් අයකුට බදු පදනම මත ලබා දී අවසන්ය. එසේ ඉවත් වන ඔහුගේ විශේෂත්වයක් වන්නේ ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම පිළිතුරු ලබා දීමයි. එසේ පිළිතුරු ලබා දීම තුළින් වාහන හිමිකරුවන් තුළ මුදල් ලබා දීම සම්බන්ධ විශ්වාසය ඉහල නංවා ඔවුන් නීතිය ඉදිරියට යෑම වළක්වා ගනී. ලියකියවිලි රහිතව වාහන ලබා දුන් බෙහෝ මෙවන් පුද්ගලයන් සිදුකරන්නේ මොහු වාහනය බේරා දෙන බවට කරන බොරුවට හසු වී බලා සිටීමයි. එසේම හොදින් පවත්වාගෙන යන ව්‍යාපාරයක ලිපියනයට ඔහු සීල් සහ ලෙටර් හෙඩ් සාදා ගන්නේ වෙනත් නමක් යොදා ගෙනයි. මෙම වංචාකරු නිසා රැවටුණු බොහෝ කාන්තාවන්ට ඔහු පවසන්නේ අදාළ ව්‍යාපාරය තමන්ගේ බවත් එය තමන් අලුතින් මිලදී ගත් නිසා තවම පරණ නම වෙනස් නොකර බවත්. අලුත් නම සහිත ලෙටර් හෙඩ් සහ සීල් ද සෑදු බව ද පවසයි. එසේම එම ලෙටර් හෙඩ් සහ සීල් යොදාගෙන වාහන බද්දට දෙන ආයතනවලින් වාහන කිහිපයක් එකවර ලබා ගන්නේ සිය ව්‍යාපාරයේ තනතුරු හිමි පුද්ගලයන් සදහා ලබා දෙන බව කියමිනි.

මේ ආකාරයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 65ක් ඇතුළු පුද්ගලයන් රැසක් නොමඟ යවමින් කෝටි 10කට අධික මුදලක් වංචා කළ, අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබූ පුද්ගලයකි.

දැනට සිදුකර පොලිස් පරීක්ෂණ අනුව මෙම පුද්ගලයා ප්‍රදේශ කිහිපයක කාන්තාවන් 65 දෙනකු මුලා කරමින් මුදල් වංචා කර ඇති බවටත් එම කතුන් අතරින් 40කට අධික පිරිසක් සමඟ අඹු සැමියන් ලෙස සිටි බවටත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ තේ විකිණීමකට අදාළ රුපියල් 78,53,890ක මුදලක්, ගාල්ලේ කාන්තාවකට කෝටි 2කට ආසන්න මුදලක්, වඳුරඹ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන පසුව නිවෙස අයිතිකාරිය එම නිවෙස විකිණීමට පොලඹවාගෙන එම නිවෙස රුපියල් ලක්ෂ 15කට විකිණීම, ගාල්ල මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති රුපියල් 10,32,000ක් අගරු චෙක්පත් ලබාදීමෙන් කළ වංචාව, ගල්කිස්ස අධිකරණයේ පවරා ඇති මුදල් වංචාව, අරුන් ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන්නෝ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කොට එම ආයතනයෙන් රජයට අය විය යුතු බදු මුදල් රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක් නොගෙවා පැහැර හැරීම, ලොකුගේ එන්ටප්‍රයිසස් නමැති ආයතනයක් ලියාපදිංචි කර රජයට අයවිය යුතු රුපියල් හාර කෝටි 35 ලක්ෂයක් ගෙවීම පැහැර හරිමින් වංචා කිරීම ඇතුළු වංචා රැසක් මොහු කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙයට අමතරව වැඩිදුර විමර්ශනවලදී තවත් වංචාවන් රැසක තොරතුරු හෙළිවෙමින් පවතින බව යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතා කීය.

මොහු මෙපමණ කාලයක් මෙතරම් මුදලක් සොරකම් කර තිබුන ද මොහුට රැවටෙන පුද්ගලයින් නීති මාර්ගය වෙත යන්නේ බෙහෝ පසු වීය. එය ද ඔහුගේම ගැටයකි. මොහු පළමු වංචාව සිදුකර පුද්ගලයා ගෙන් ඇමතුමක් ආවද එම ඇමතුම මග නොහරී. ඔව් ඔව්. මගේ බිස්නස් ටික දැන් හරි මට ටිකක් හෙට අනිද්දාට දෙන්න පුළුවන්. එසේ කිව්ව ද මුදල් ලැබුණු කෙනෙකු නැත. අදාළ මුදල් දෙන්ට නොහැකිය යයි කියන්නේත් නැත. ඒ තුළ තම මුදල හෝ වාහනය ලැබේ යයි විශ්වාස කරන පුද්ගලයන් තව දුරටත් මෙම වංචාව නීතියෙන් වසං කරගෙන සිටී. එසේම බදු පදනම මත වාහන කිහිපයක් ගන්නා අවස්ථාවක එම වාහන උකස් කර වැඩි මුදලක් ලැබුණු පසු එයින් ඔහු පළමුව වංචාව සිදු කර පුද්ගලයන්ට සුළු ගණනක් ලබා දෙයි. එය ලබා දී ඉතිරිය ද ලබා දෙන බව පවසයි. යම් මුදලක් හෝ ලැබුණු පුද්ගලයින් නීතිය හමුවට නොයයි. මෙයින් වාසි ගන්නා සැකකරු දිගින් දිගටම මෙය ඡාවාරමක් ලෙස සිදුකර ඇති බව පොලිසිය පවසයි.

රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ප්‍රභූ පුද්ගලයන් ඇසුරු කරමින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර තුර මොහු මෙම වංචාවන් කර ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බව පොලිසිය කියයි.

2010 වසර තරම් ඈත කාලයක සිට මෙම වංචාවන් කර ඇතත් නීතියේ රැහැනින් ගැලවී සිටීමට විවිධ පුද්ගලයන්ට අත දිගහැර වියදම් කොට ඇතැයිද වාර්තාවේ.

ගාල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාට ලබුණු පෞද්ගලික තොරතුරක් මත යක්ලකලමුල් ප්‍රදේශයේ පන්සලක නැවතී සිටින බවට වු තොරතුරක් පසුපස පොලිසිය හඹා ගිය ද පොලිසිය පැමිණීමට විනාඩි කිහිපයකට පෙර ඔහු එම ස්ථානයෙන් පැණගොස් තිබිණි. කෙසේ නමුත් එසේ පැන යන අවස්ථාවේ ඔහු එදින භාවිතා කර බදු පදනම මත ලබාගත් කාර් රථය හා ලියවිලි පන්සලේම දමා ගොස් තිබිණි. එදින සවස යලිත් ගාල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාට ලබුණු ඔත්තුවක් මත අම්ලබන්ගොඩ ප්‍ර දේශයේ පන්සලක සිටිය දී මේ මහා මොලකරු අත්අඩංගුවට ගැනීමට යක්කලමුල්ල පොලිසිය හැකි වී ඇත.

මෙම පුද්ගලයා විසින් වංචාවන්ට හසුකර ගනු ලැබූ විවිධ පුද්ගලයන්ගේ සියලුම දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබාදෙමින් තමා වංචාකරුවකු ලෙස නොහැඟවෙන ලෙස ක්‍රියා කිරීම තුළ අදටත් වංචාවන්ට හසුවූ පුද්ගලයන් තමා වංචාවකට හසුවූ බව නොදැන සිටින බවද පොලිසිය සඳහන් කරයි.

මෙවැනි ආකාරයක වංචාවකට ඔබ හසුවී ඇත්නම් වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට එම තොරතුරු දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ගාල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ, සහකාර පොලිස් අධිකාරී ගාමිණී ඉහලවෙල යන අයගේ පූර්ණ අධීක්ෂණය මත යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, පොලිස් පරීක්ෂක දිමුත් චමීර, පො.කො. ශාන්ත (58962), පො.කො. අමරසිංහ (40679), පො.කො. තුෂාර (73056), පො.කො. ඒකනායක (82551), පො.කො. රියැදුරු චමුද්රි (80849) ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙතරම් මුදලක් සොරකම් කර මොහු ට ගාල්ල උසාවියේ දී පසුගිය නඩුවක රජයේ ගාස්තුවක් වන රුපියල් 50ක් ගෙවීමට නොහැකි වූ අතර ඔහුගේ සාක්කුවෙහි ඒ වන විට තිබුනේ රුපියල් 12ක් පමණි.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව විවෘත වරෙන්තු 6ක් ඇති අතර ඉන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති වරෙන්තුව අනුව නඩුව (25දා) කැඳවීය. එහිදී එම නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට ලබාදී තිබූ ඇප රාජසන්තක කර නඩුව අවසන් වනතුරු සැකකරු රිමාන්ඩ් කර තැබීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID