BREAKING NEWS
latest

728x90

468x60

දෑලේ ඇතුන්ට ඇන්දවීමට අලුත් අලි ඇඳුම් දළදා මාලිගාවට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සාධාතුක කරඬුව හා දේව අභරණ වැඩම කරවන හස්තීන්ට හා දෑලේ ඇතුන්ට ඇන්දවීම සඳහා අලුත් අලි ඇඳුම් දළදා මාලිගාවට හා සතර මහ දේවාළයන්ට පූජා කිරීම ඊයේ (03) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී සිදුකෙරුණි.
කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතා විසින් රුපියල් ලක්ෂ 27 ක් වැයකර මේ අලි ඇඳුම් පූජා කිරීම සිදුකළ අතර මෙම උතුම් පූජාව මෙවර සිදු කෙරුණේ 24 වන වසරටය.

ඉන්දියානු ආභාෂය තුළින් වර්තමානයේ නිර්මාණය කෙරෙන අලි ඇඳුම් බොහොමයකින් අලියාගේ සැබෑ ස්වරූපය යටපත්වී යන බවත් එම තත්ත්වය වෙනස් කර මෙරට පාරම්පරික කලා ශිල්ප භාවිත කරමින් අලි ඇඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව දැන් දැඩිව ඇතිව තිබෙන බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මනුෂ්‍යකුගේ මෙන්ම අලියකුගේද ඇඳුම තුළින් සතාගේ පෞරුෂය මතුවන බවත් විදේශීය රටවල ආභාෂය තුළින් නිර්මණාය කරන්නාවූ අලි ඇඳුම් තුළින් අලියාගේ ගාම්භීරත්වය මැකී යන බවත් ඒ මහතා කීය.
කාලයක් පුරා මහනුවර ඇසළ පෙරහැ‍රට අලි ඇඳුම් පූජා කළ පිරිස් එම ඇඳුම මගින් ඔවුන් පෙරහැරට ලබාදුන් දායකත්වය සිහිකරමින් අලි ඇඳුමේ අනුග්‍රාහයත්වය ලෙස සඳහන් කරන බවත් අලියා පෙරහැරේ ගමන් ගනිත්දී එය පෙනෙන්නට තිබෙන බවත් කී දියවඩන නිළමේවරයා තුසිත විජයසේන මහතා සම්පූර්ණයෙන්ම එම තත්ත්වය පිටු දකිමින් අලි ඇඳුම් පූජා කරන බවද ප්‍රකාශ කළේය.
අලි ඇඳුමක් මසා වසර ගණනාවක් තිස්සේ දළදා මාලිගාවට පූජා කිරීමේ අපේක්ෂාවෙන් සිටි සුජාතා මංගලිකා වීරසූරිය නැමැති අයගේ නිර්මාණය රුපියල් ලක්ෂයකට මිලට ගෙන ඇය අතින්ම දියවඩන නිළමේවරයා වෙත එය පිළිගැන්වීමට තුසිත විජයසේන මහතා කටයුතු කිරීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාළ බස්නායක නිළමේවරුන් වන ගයාන් හීන්කෙන්ද, මහේන් රත්වත්ත, ගැමුණු වලිසුන්දර, හේමන්ත බණ්ඩාර හේරත් යන මහත්වරුද සහභාගී වූහ. 
« PREV
NEXT »

Facebook Comments APPID