BREAKING NEWS
latest

728x90

468x60

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි සේවා අත්හිටුවයි

පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී ආයතනය මෙතෙක් කල් කරගෙන ආ ප්‍රාථමික අලෙවිකාර සේවාවන් ඊයේ (15) උදේ 10.00 සිට මාස හයක් ගත වන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කොට තිබේ.

පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදුකරන ලද ගනු-දෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයන් මත පදනම්ව මේ නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ නියාමන තීරණය ගෙන ඇත්තේ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ ඇති නීත්‍යානුකූල ප්‍රතිපාදන මතය.

රජය අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් විසර්ජන පනත මඟින් දළ ණය ගැනීම් ප්‍රමාණය සෑම වසරකම තීරණය කරනු ලබයි. මේ රජයේ ණය ගැනීම් රජයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරයි.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු මඟින් දේශීය හා විදේශීය මූලාශ්‍රයන්ගෙන් අරමුදල් රැස්කර ගනු ලබයි.

මේ රජයේ ණය උපකරණ මහ බැංකුවෙන් මිලදීගෙන බලපත්‍රලාභී ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මහජනතාව වෙත අලෙවි කරනු ලැබේ. මේ අනුව අප රටේ ප්‍රාථමික අලෙවිකරුවෝ 14 දෙනෙක් සිටියහ.

ඒ අතුරින් ඊයේ (15) සය මසක ගනු-දෙනු අත්හිටවූ පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනයට අමතරව ඉකුත් ජූලි මස 06 වැනිදා සිට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ගනුදෙනුවලට අත්හිටුවන නියෝගය මහ බැංකුව විසින් ලබා දී තිබුණි. මේ නිසා දැනට ප්‍රථමික අලෙවි සේවා සිදුකරනුයේ බලපත්‍රලාභී ආයතන සංඛ්‍යාව 12 ක් බවට පත්ව ඇතැයි මහ බැංකුව අප කළ විමසීමකදී ප්‍රකාශ කෙළේය.

ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ II වැනි උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. ඒ අනුව බැංකු පනතේ II වැනි උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූලව පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙ‍ළඳපළේ තවදුරටත් ගනුදෙනු සිදුකිරීමේ හැකියාව ඇත. එසේම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිසි පරිදි ගනු ලැබේ.

මේ නියාමන ක්‍රියාමාර්ගය මඟින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගි වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත් මේ නියාමන ක්‍රියා මාර්ගය ‍මඟින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවේ.
« PREV
NEXT »

Facebook Comments APPID