දුවන්න පනින්න තැනක් නැතිව මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා ඉබාගාතේ යන්නාක් මෙන් නන්නත්තාර විය. ශ්‍රී ලංකාවේ අංක එකේ ධාවන පථය වන සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයට කණකොකා හැඩීමත් සමග මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයටද හෙනහුරා පාත්විය. නමුත් දැන් තවත් අලකලංචියක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔළුවට වැටී තිබේ. ඒ අලුතින් ඉදිකල ධාවන පථයේ හිල් ඇති බවයි.
ප්‍රමිතිය සහ නියමිත සැලසුම්වලට අනුව කරන ඕනෑම රාජකාරියක හිල් තිබිය නොහැක. එසේ හිල් තිබෙන්නේ නම් ඒ ගැන හරි තීන්දුවක් ගැනීමට අධිකරණයට යැම අදාළ බලධාරීන්ගේ වගකීමයි. නමුත් සුගතදාස ධාවන පථය තවමත් සුගතදාස අධිකාරියට නිල වශයෙන් භාර දී නැත. ඉන් කියවෙන්නේ එහි වැඩකටයුතු අවසන් නොමැති බවයි. එවිට ඔය කියන හිල් මතුවීම සාමාන්‍ය දෙයකි. නමුත් මීට පෙර පැවැති ධාවන පථය මෙන් හිල් වී පැලී ඉරිතලා ගියහොත් අදාළ වගකීම පැහැර හැරිය සියල්ලෝම මෙරට ක්‍රීඩාවේ නාමයෙන් දඩුකඳේ ගැසිය යුතුය.
කඩිමුඩියේ වැඩ කරන්නට ගොස් මීට පෙර තිබු ධාවන පථය අබලන් වූ බවත් අනතුරුව එය හරි හැටි නඩත්තු නොකිරීම එම අබලන්වීමට හේතුව බවත් එම ධාවන පථය සකස් කළ කොන්ත්‍රාත් සමාගම නිදහසට කරුණු ඉදිරිපත් කළේය. නමුත් ධාවන පථය අබලන් වන විට ඔවුන්ගේ "ගැරන්ටියද" අවසන්ව තිබීමෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරටද කර කියා ගත හැකි යමක් නොතිබුණි. එබැවින් ඔහු ධාවන පථයට ශත පහක්‌වත් වියදම් නොකර "ගහ කොළ" කොන්ත්‍රාත් සමාගම ලවා අදාළ ධාවන පථය යළිත් පිළිසකර කර ගන්නා බව ක්‍රීඩා ඇමැති ධූරයට පත්වූ වහාම පැවසුවද ඒ කතා පුස්‌සක් විය. අනතුරුව යළිත් ටෙන්ඩර් කැඳවා ධාවන පථය එලීම කොනිකා නම් සමාගම සතුවිය. එම සමාගම ධාවන පථ 150 කට ආසන්න සංඛ්‍යාවක් සකස් කර ඇති බව එහි සාමාජිකයකු පවසා සිටියේය. එබැවින් අලුත් සුගතදාස ධාවන පථයේ හිල් ඇතොත් ඊට පෙර අදාළ සමාගම සැකසූ සියල්ලේම "හිල්" තිබිය යුතුයෑයි අපගේ මතයයි.
මොන සමාගමක් කළද වැඩේ හරියට කළ යුතුය. රුපියල් මිලියන 250 කට ආසන්න ඇස්‌තමේන්තුවකට එම කොන්ත්‍රාත්තුව අදාළ සමාගම මිලදී ගෙන තිබේ. ඒ අනුව ඉදිරි වසර පහක් යන තුරු කෘත්‍රීම ධාවන පථයට මොන හෙනහුරා පාත් වුවද වගකිව යුත්තේ ඔවුන්ය. එසේ නැතිනම් අදාළ ටෙන්ඩරය ලබාදුන් මහත්වරුන්ය. ඊටත් එහා ගියේ නම් මෙම ධාවන පථයට අංක එකේ සහතිකයක් ලබාදුන් ජාත්‍යන්තර සමාගමය. නමුත් මේ සියලු දේ විහිථවක් පමණක් වෙද්දී සුගතදාස ධාවන පථයේ හිල් ඇති බව ප්‍රචාරය වී ඇත්තේ කොන්ත්‍රාත් සමාගම් අතර ඇති තරගකාරීත්වය අනුව බව පැහැදිලිය.
නිලවරණ මෙන් සමාගම් අතරද තරගකාරීත්වයක් ඇති වීම එක් පැත්තකින් යහපතකි. නමුත් සත්‍ය යට දමා අසත්‍ය රජ කරවන තරගයක් වුවහොත් එය රටේ ක්‍රීඩාවට කරන පාපයකි. නව කෘත්‍රීම ධාවන පථයේ වැඩ අවසන් වීමට පෙර ආසියානු ක්‍රීඩා උළෙල, ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙල සහ යුද හමුදා ක්‍රීඩා උළෙල සඳහා ධාවන පථය නිදහස් කිරීමට කොන්ත්‍රාත් සමාගම ඉදිරිපත්ව ඇත්තේ අධිකාරියේ ඉල්ලීම මතය. නැතිනම් මෙම ක්‍රීඩාද දියගම මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ පවත්වා නියමිත කාලයට භාර දෙන තෙක් සිටියානම් කිසිම ගැටලුවක් නැත.
කෙසේ වෙතත් අදාළ සමාගම මේ සම්බන්ධයෙන් පවසා සිටියේ සියයට සියයක්‌ම ධාවන පථය ඉස්‌තරම් බවත් කිසිම ගැටලුවක් නොමැති බවත්ය. නමුත් දැන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උදේ සවස සුගතදාසයේ දුවති. පනිති. යළිත් ඔවුන්ගේ ඉලක්‌කයට බාධක හෝ සම්බාධක වලට ධාවන පථය හරස් නොවී, සුසන්තිකාලා බිහිකිරීමට හැකි ධාවන පථයක් බවට මෙය පත්කර ගැනීම සහ ආරක්‌ෂා කර ගැනීමට සුගතදාස අධිකාරිය ඇස ගසා සිටිය යුතුය.
අසේල විතාන