BREAKING NEWS
latest

728x90

468x60

රාජකීය පවුලේ හිතුවක්කාරයාගේ විවාහයේ රස රහස්

මේ දිනවල ලොව පුරා මාධ්‍ය අතර වැඩිම අවධානයට ලක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ හිතුවක්කාර කුමාරයා ලෙස කාගෙත් ආදරයට පාත්‍රවූ හැරී කුමරුගේ විවාහය ගැනය.

අමුත්තන් 600ක් ඉදිරියේ ලොව පුරා මිලියන ගණනාවක රූපවාහිනී ප්‍රේක්ෂකයන් හමුවේ සාන්ත ජොර්ජ් පල්ලියේ වින්ඩ්සර් ප්‍රධාන දේවගැතිවරයා විසින් සිදුකිරිමට නියමිත මේ රාජකීය විවාහය එංගලන්තයේ වේලාවෙන් හරියටම පස්වරු 1.00ට ආරම්භ කෙරෙනු ඇත. එය ශ්‍රී ලංකා වේලාවෙන් පැවැත්වෙන්නේ පස්වරු 6.30ට පමණය.

ඔවුන්ගේ විවාහය රාජකීය සම්ප්‍රදායේ සෑම අංගයක්ම අනුගමනය කෙරෙන එකක් නොවූවත් දෙපාර්ශ්වයෙන්ම මල් කුමර කුමරියන් ලෙස ඔවුනොවුන්ගේ සමීපතම ඥාතීන් පිරිස අතරින් තෝරාගැනීමට සැළකිලිමත් වී තිබේ.

හැරී කුමරුගේ වැඩිමල් සොයුරු විලියම් කුමරුගේ දියණිය 3 හැවිරිදි චාලට් කුමරිය දෙවැනි මනාලියක ලෙසත්, ඇයගේ වැඩිමල් සොයුරු සිවු හැවිරිදි ජොර්ජ් කුමරු මල් කුමරකු ලෙසත් ඊට සහභාගි වනු ඇත.

මීට අමතරව මෙගන් කුමරියගේ සමීපතම මිතුරියක වන ජෙසිකා මුල්රොනීගේ සිවු හැවිරිදි දියණිය ඉවි මුල්රොනී, වේල්සයේ ආරක්ෂක නිලධාරීයකු වන මාක් ඩයර්ගේ පුත්‍රයා වන ජස්පර් ජෝර්ජ් ද මල් කුමරකු ලෙස පෙනි සිටීමට නියමිතව ඇත්තේ ඔහු බෞතිස්ම ලැබීමේදී කැපකාර පියා ලෙස හැරී කුමරු ඉදිරිපත්වී සිටි නිසාවෙනි.

ඇරත් චාල්ස් කුමරුගේ සමීපතම ආරක්ෂක නිලධාරියකු වූ මාක් ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව ඇගේ පුත් කුමරුන් දෙදෙනාගේ ආරක්ෂකයා ලෙසත් කටයුතු කර තිබිණි. මෙගන් කුමරියගේ පාර්ශ්වයෙන් ඇගේ ඥාතී දියණියන් වන අට හැවිරිදි රයිලාන් සහ 6 හැවිරිදි රෙමී ද මල් කුමර කුමරියන්ගේ පිරිස අතරට එක්වනු ඇත. මේ දරු දෙදෙනාම බෞතිස්ම ලබද්දී කැපකාර මව ලෙස කටයුතු කරනු ලැබුවේ මෙගන් කුමරිය විසිනි.

නිල වශයෙන් මේ මංගල්ලයට දෙවැනි මනමාලියන් එක්කාසු කර නොගැනීමට මෙගන් කුමරිය තීරණය කර ඇති අතර එය කාගෙත් නළල් තල රැළි ගැන්වූ කාරණාවක් බවටත් පත්වී තිබේ. එසේ වුවත් හැරී කුමරු නම් සිය දෙවැනි මනමාලයා ලෙස සහභාගි වන ලෙස දැනටමත් තම එකම සොයුරු විලියම් කුමරුගෙන් ඉල්ලීමක් කර ඇත. තම විවාහ මංගල්ලයේදී දෙවැනි මනාලයා ලෙස පෙනි සිටි හැරී කුමරුගේ ඉල්ලීම විලියම් කුමරුත් ඉවත දමා නැත.

තම එකම සොයුරාගේ මංගල්ලය නිසා එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන විලියම් කුමරුට මැයි 19 වැනිදා ඉතා විශේෂ කටයුත්තක් ද අත්හැරීමටත් සිදුවී තිබේ. ඒ එදිනට ලොව ප්‍රධානතම පාපන්දු තරගාවලියක් වන එෆ්.ඒ. කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයත් යෙදී තිබීමය. ඔහු ඒ තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස මීට පෙර නම් කර තිබිණි.

හැරී කුමරුගේ සහ මෙගන් කුමරියගේ විවාහ මංගල්‍යය එක් අතකට වසර ගණනාවක් පුරා විරසකව සිටි පවුල් කිහිපයක්ම නැවත එක්කාසු කිරිමේ අවස්ථාවක් බවටත් පත්වී තිබේ. එහි වඩාත්ම කැපී පෙනෙන කාරණාව වන්නේ මෙගන් කුමරිය කුඩා වියේදීම දික්කසාද වූ ඇගේ මාපියන් තම දියණිය වෙනුවෙන් සියලු අමනාපකම් අතහැර මේ විවාහයේදී එකට එක්වීමය. ඔවුන් දෙදෙනාම දැනටමත් එංගලන්තය බලා පැමිණ සිටින අතර දියණියගේ විවාහයේ දි සියලු සම්ප්‍රදායික චාරිත්‍රවලට එක්වනු ඇත.

මෙගන් කුමරිය සාන්ත ජෝර්ජ් පල්ලියේ ප්‍රවේශ මාර්ගය ඔස්සේ කැඳවාගෙන ඒම සිදුකරනු ලබන්නේ ඇගේ පියා තෝමස් මාර්කල් විසිනි. ඊට පෙර එනම් විවාහයට දින කිහිපයකට පෙර මෙගන් කුමරියගේ පියාත්, මව ඩෝරියාත් කෙන්සින්ටන් මාලිගාවේදී පළමුවතාවට එලිසබෙත් මහ රැජන බැහැ දැකීමට නියමිතය. එමෙන්ම විවාහයට පෙර හැරි කුමරුගේ පියා වන චාල්ස් කුමාරයාත්, කැමිලා කුමරියත් මුණ ගැසෙනු ඇත. ඒ සියල්ල අතරතුර මෙගන් කුමරියගේ මාපියන් පළමුවතාවට සිය අනාගත බෑණනුවන් හැරී කුමරු මුණගැසීමටත් නියමිතය. මෙගන් කුමරියගේ මාපියන් එංගලන්තයට පැමිණෙන්නේ විවාහයට සතියකට පෙරය. මේ දෙදෙනාටම රාජකීය විවාහයේදී ඉතා වැදගත් භූමිකාවකට පෙනී සිටීමට සිදුවනු ඇත.

වින්ඩ්සර් මාලිගාවේ සාන්ත ජෝර්ජ් පල්ලියේ සිදුකෙරෙන මේ රාජකීය මංගල්ලයේදී එංගලන්ත රජ පවුලේ නොමියෙන මතකයක් ඉතිරි කළ ඩයනා කුමරිය සිහිකිරීමටත් හැරි කුමරු සහ මෙගන් කුමරිය සැලසුම් කර තිබේ.

ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව ඇගේ පවුලේ සාමාජිකයන් සහ රජපවුල අතර සම්බන්ධතාව දුරස් වූ අතර මේ විවාහයේදී නැවතත් එය අලුත් කිරීමට හැරී කුමරු තුල දැඩි කැමැත්තක් තිබුණේ බොහෝ කාලෙක සිටය. මේ විවාහය ඊට කදිම අවස්ථාවක් නිර්මාණය කර තිබේ.

විවාහයට ආරාධනා ලැබූ ප්‍රභූවරුන් අතරට ඩයනා කුමරියගේ බාල සොයුරු අර්ල් චාල්ස් ස්පෙන්සර් සහ සාරා ආර්යාව එක්කාසු කරගැනීමටත් හැරී කුමරු අමතක කර නැත. මීට අමතරව ඩයනා කුමරියගේ වැඩිමල් සොයුරිය ජේන් ආර්යාවට මේ විවාහයේ එකම දේශනය පැවැත්වීමට හැරී කුමරු ඉඩ ලබාදී ඇත්තේ ඔහුගේ මවට පුදන උපහාරයක් ලෙසටය.

චාරිත්‍රානුකූල විවාහයෙන් පසුව මේ දෙදෙනාගෙම සමීපතම මිතුරු මිතුරියන් 200ක් සමග නව යුවල නිදහසේ සිය විවාහයේ ප්‍රීතිය සමරන (after party) ප්‍රිය සම්භාෂණය පැවැත්වෙනු ඇත. වැදගත්ම කරුණ වන්නේ මේ රාජකීය විවාහයට දේශපාලන නායක නායිකාවෝ සහභාගි නොවීමය. එංගලන්තයේ අගැමැතිනිය තෙරේසා මේ හෝ අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඊට සහභාගි වන්නේ නැත. රජ පවුලේ ප්‍රකාශකයන් සඳහන් කරන ආකාරයට මේ විවාහයට දේශපාලන නායක නායිකාවන්ට ආරාධනා නොකිරීම සම්ප්‍රදායික එකකි. ඔවුන් කියන්නේ බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන රජපවුලේ සාමාජිකයන් අතර හැරී කුමරුට හිමිවී ඇත්තේ 6 වැනි ස්ථානය බැවින් ඔහුගේ විවාහයට දේශපාලන නායක නායිකාවන්ට ආරාධනා නොකෙරෙන බවකි.

රාජකීය විවාහයට සහභාගි වන ප්‍රභූවරුන්ට කොන්දේසි මාලාවක් ද පනවා තිබේ. ඔවුන්ට ජංගම දුරකතන ළඟ තබාගත හැකිවූවත් ඒවා විසන්ධි කර තබාගත යුතු බව රජ පවුලේ ප්‍රකාශකයකු කියයි. ඔවුන්ට ඡායාරූප ගැනීමට කිසිදු අවසරයක් ලබා නොදීමටත් තීරණය කර ඇත. සමාජ වෙබ් අඩවිජාලා එහෙම පිටින්ම තහනම් කර තිබේ. මේ විවාහයට සහභාගි වන අය අතර අවසන් අමුත්තා සිරිත් පරිදි එලිසබෙත් මහ රැජනියයි. ඇය පැමිණීමට නියමිතව ඇත්තේ මෙගන් කුමරියගේ පැමිණීමට හරියටම මිනිත්තු පහකට පෙරය. එබැවින් අමුත්තන් සියලුදෙනාම නියමිත වේලාවට පැය කිහිපයකට පෙර පැමිණ සිටිය යුතු බව ද සඳහන්ය.

අමුත්තන් සියලුදෙනාටම නියමිත ආසන පනවා ඇති අතර සම්ප්‍රදායට අනුව මනාලියගේ පාර්ශ්වයට පල්ලියේ වම් පැත්තේ සහ මනාලයාගේ පාර්ශ්වයට පල්ලියේ දකුණු පැත්තේ අසුන් පනවා තිබේ. රජ පවුලේ සාමාජිකයන් අසුන් ගන්නේ හැරීට සහ මෙගන්ට දකුණු පැත්තෙන්ය. මෙගන්ගේ මාපියන් සහ මිතුරු මිතුරියන් වම් පැත්තේ අසුන් ගනු ඇත. මේ අවස්ථාවට සහභාගි වන එලිසබෙත් මහ රැජනට සමීප වීමට කිසිදු අමුත්තකුට ඉඩ නොලැබෙන අතර මහ රැජනගෙන් කිසිවක් විමසිමටත් අවසර නොමැත. පැමිණ සිටින අමුත්තන් සමග කතා බහ කිරීම තීරණය කරනු ලබන්නේ මහ රැජන විසිනි.

මේ විවාහයට ආරාධනා ලැබූ සෑම අමුත්තකුටම නියමිත ඇඳුම (dress code) ආරාධනා පතෙහි සඳහන් කර තිබේ. කිසිදු අමුත්තකුට මේ විවාහයේදී සුදු පැහැති ඇඳුම් පැළඳීමට අවසර නොමැති අතර කාන්තාවන් හිස් වැසුම් පැළඳීම අනිවාර්ය කර තිබේ. එම හිස් වැස්මත් කොන්දේසි සහිත එකකි. ප්‍රමාණය ඉක්මවූ විශාල හිස්වැසුම් සහ වැඩි උසක් සහිත හිස්වැසුම් පැළඳිම තහනම් කර ඇත්තේ මනාල යුවළ සහ එම අවස්ථාව සෙසු අමුත්තන්ට නැරැඹීමේ පහසුව සලසා දිය යුතු බැවිනි.

හැරී කුමරුගෙත්, මෙගන් කුමරියගෙත් විවාහය හැම අතින්ම රාජකීය බවත් ඉසිලුවත් ඒ සියල්ල මැද සිය අනාගතය සැලසුම් කරමින් ඉන් ඔබ්බට ගිය පෞද්ගලිකත්වයක් ගොඩනගා ගැනීම නව යුවලගේ අරමුණ වී ඇතැයි ඔවුන්ගේ සමීපතම මිතුරු මිතුරියෝ පවසති. ඒ සියල්ල දැකබලාගැනීමට මේ රාජකීය විවාහය සිදුවනතුරු බලා සිටින්නට සිදුවනු ඇත. සම්ප්‍රදායික රාජකීය සිරිත් විරිත්වලට හැරී කුමරුගේ කොහෙත්ම කැමැත්තක් නැත. මෙගන් කුමරියත් එසේමය.

ෆවුස් මොහොමඩ්
« PREV
NEXT »

Facebook Comments APPID