ගයාන් වික්‍රමතිලක කියන්නේ සමාජ මාධ්‍ය හරහා ගොඩක් දුරට අපහසුතාවල ලක්වෙන කෙනෙක්. ඔහුගේ පෞද්ගලික ජීවිත අලලා විවිධ පුවත් මේ ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනවා. ඉතිං ඒ ගැන ගයාන් මෙහෙම කිව්වා.
“ලංකාවේ විතරක් නොවේ. ලෝකේ බොහෝ රටවල මිනිස්සු ගොසිප් හොයන්න හරි ආසයි. ඒක හරියට බත් කනකොට කරවල කෑල්ලක් බැදලා කනවා වගේ තමයි. නමුත් අපේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අනුන්ගේ දේවල් හොයලා තමයි. මේ ගෙදර ඉඳන් එහා පැත්තේ ගෙදර මොනවද වෙන්නේ කියලා තමයි බලන්නේ. රටේ ඔය දේ තහනම් කළොත් ‘නිදහස් මාධ්‍යයට අත තිබ්බා’ කියලා කියනවනේ.”
“හැබැයි මමනම් කියන්නේ ඔය සමහර ගොසිප් සයිට් හරියට කුණු අවුස්සගෙන කන කපුටෝ ජාතියක් වගෙයි. ඒ තරමටම මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් හොයනවා. අනික තමයි සමහර පුවත්පත්වලින් අපිට කතා කරලා ගත්තු, හරි විදිහට පළවුණු සාකච්ඡා ඔය ගොසිප් සයිට් අරගෙන එයාලා ගත්තා වගේ පළකරනවා. සමහරවිට අපි පත්තරේට දුන්නු ආටිකල්වලින් කියවෙන්නේ වෙනම දෙයක්. නමුත් ඒවා විකෘති කරලා තමයි ඔය ඇතැම් ගොසිප් සයිට්වල පළකරන්නේ. ඒ අයට ඕන කරන්නේ විකෘති කරපු නිවුස් එකක් දාලා හරි ඒ අයගේ views ප්‍රමාණය වැඩි කරගන්නයි.”
“ඒ අයගේ ගොසිප්වලට කමෙන්ට් දාන්නෙත් අවුරුදු දහයේ, එකොළහේ ඉඳන් අවුරුදු පනහ හැට දක්වා ඉන්න ටිකක් වෙනස් චරිතවල අයයි. ඒ කමෙන්ට්වලට පාවිච්චි කරන වචන දිහා බැලුවත් ඉතාම සවුත්තුයි. මේ කාගේහරි අම්මා කෙනෙක්ගේ, තාත්තා කෙනෙක්ගේ දරුවෙක්නේ කියලා කවදාවත් හිතන්නේ නැහැ. ඒ කමෙන්ට් එක ගහන මනුස්සයා හොහොතකට හිතන්න ඕනේ මේ පොඩි වර්ග ප්‍රමාණයක් තියෙන ශ්‍රී ලංකාව කියන රට විතරයි අපි හැමෝටම තියෙන්නේ. ඒ කමෙන්ට් එක ගහන මනුස්සයාටත්, කලාකරුවෙක් විදිහට ජීවත්වෙන අපිටත්, මේ ගොසිප් සයිට් කරන මිනිස්සුන්ටත් ලෝකේ ඉතාම කුඩා භූමි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. අපිට ඉන්නේ අපි පමණයි. කටුනායකින් හරි මත්තලින් හරි වෙන රටකට ගියාට පස්සේ අපිට බණින්න කෙනෙකුත් නැහැ. ආදරය කරන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා රටට ආදරය කරන කලාකරුවෙක් විදිහට මට තියෙන්නේ එක දෙයයි. ඒ තමයි කලාකරුවන්ට මේ විදිහට ගොසිප් සයිට් හරහා මඩ ගහන්න එපා. එහෙම මඩ ගහන්න කලින්, මඩ කියවන්න කලින් වගේම ඒ මඩ විශ්වාස කරන්න කලින් තව පාරක් හිතන්න. දවසක ඒ මඩ පහර ඔබටත් වදින්න පුළුවන්. එතකොට සමහරවිට හිතට දැනෙන වේදනාව දරා ගන්නත් බැරි වේවි.”
saaravita