BREAKING NEWS
latest

728x90

468x60

පාදුක්කෙන් හමුවූ හොර දොස්තර නෝනා

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් වෛද්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ පිරිස් වල තදබල නොරිස්සුමක් තිබෙන බව පෙනේ. ප්‍රමිතිගත සුදුසුකම් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට බැඳී එහි උපාධි පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් පසුව ප්‍රමිතගත මට්මමින් පැවැත්වෙන මුලික වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවෙකුට වුව වෛද්‍ය වෘත්තික ලියාපදිංචිය ලබා දීම බලවත් අසාධාරණයක් යැයි එම පාර්ශව එක හඬින් කියා සිටියි.

එහෙත් අද වන විටත් කිසිදු වෛද්‍ය වෘත්තීමය සුදුසුකමක් හෝ ලියාපදිචියක් නොමැති පුද්ගලයන් විසින් ප්‍රසිද්ධියේම පවත්වාගෙන යනු ලබන නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථාන දහස්ගණනක් අප රටේ තිබේ.

එහෙත් ජන සමාජයට මහත් විපත් පැමිණවිය හැකි එබදු ආයතන වලට එරෙහිව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහිව නැඟෙන දහසකුත් එකක් හඬ වලින් එක් හඬක් හෝ නොනැගීම ජාතික ඛේදවාචකයකි.

පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ එලෙස නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලා එහි ප්‍රතිකාර ලබාදුන් බව කියන සුදුසුකම් ඉදිරිපත් කළ නොහැකි වූ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි තැනැත්තියක සහ නීති විරෝධී ලෙස ඇය සන්තකයේ තිබු ඖෂධ තොගයක් සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අදාළ වෛද්‍ය මධ්‍යස්ථාය තුළ නීති විරෝධී ක්‍රියා සිදුවන බවට ප්‍රදේශයේ මහජනතාවගෙන් දිගින් දිගටම ලද පැමිණිලි හා පෙත්සම් නිසාවෙන් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අදාළ ස්ථානය වටලා තිබේ. එම ස්ථානය පරීක්ෂා කිරීමේ දී ඉන් ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරියක බව කියන කාන්තාවට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හෝ කිසිදු පිළිගත් සහතිකයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඇය සැකපිට අත්අඩංගුවට ගත් බවද එම කාර්යාලය පවසයි.

පසුව බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාලක පරීක්ෂකවරුන් පැමිණ එම ස්ථානයේ නීති විරෝධීව රැස් කරගෙන සිටි ඖෂධ තොගයක්ද ඔවුන් භාරයට ගෙන මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවද එම කාර්යාලය පවසයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය නිවසේ අයිතිකාරිය වසරකට පමණ පෙර වෙනත් වෛද්‍යවරයෙකුට එම ස්ථානයේ පින් තකා වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ඉඩ ලබා දී ඇත. පසුව එම වෛද්‍යවරයා මුහුණු ‍‍පොතේ පළ කළ දැන්වීමකට අනුව ඉකුත් දෙසැම්බර් මාසයේදී අදාළ වෛද්‍යවරියක යැයි කියනු ලැබූ කාන්තාව ද එම මධ්‍යස්ථානයට පැමිණ ප්‍රතිකාර කටයුතු සිදු කර තිබේ. නමුදු ඒ සඳහා කිසිදු මුදලක් කුලී වශයෙන් ගෙවා නොමැති බවත් නිවසේ හිමිකාරිය පැවැසූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව ඇප ඔප්පුවකට අත්සන් ලබා ගැනීමෙන් පසු මුදා හළ බවත් සැකකාරිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලය වැඩි දුරටත් පවසයි.

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා ප්‍රමුඛ එම කාර්යාලයේ නිලධාරීන් බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාලක පරීක්ෂකවරුන් වන ඩබ්.එන්.ආර්. අල්විස් සහ අජිත් රෝහණ යන නිලධාරීන් සහ පාදුක්ක පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කරයි.

ඒ කෙසේ හෝ මෙවැනි කිසිදු වෘත්තීය සුදුසුකමක් හෝ ලියාපදිංචියක් නොමැති පුද්ගලයන් සහ ව්‍යාජ වෘත්තීය සුදුසුකම් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් සේ පෙනී සිටින සැලකිය යුතු පිරිසක් තවමත් මේ රටේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ සිට නීති විරෝධී ගබ්සාවන් සිදු කිරිම දක්වා වන අනේක විධ ක්‍රියාකාරකම් වල යෙදෙන බව ප්‍රකට රහසකි.

පසුබිම් වාර්තාව : නිසල් යොවිදු , හෝමාගම
« PREV
NEXT »

Facebook Comments APPID