BREAKING NEWS
latest

728x90

468x60

වෙසක්‌ සඳ අතරින් දෝරෙ ගලන නරකාදියක්‌ - රට පුරාම තරුණ පිරිස රැස්‌ කර මිටියාගොඩදී උමතු සාදයක්‌

මේ කාලයේ ජනප්‍රියම මාධ්‍ය මුහුණු පොතය. එහි ඇලවුණු කෙනෙක්‌ ගැළවෙන්නේ කලාතුරකිනි. ඇතැම් තරුණ, තරුණියන්ට මුහුණු පොතේ සැරිසරන්නට වේලාවක්‌, කලාවක්‌ නැත. මඟ තොටේ ඇවිදින විටත් මුහුණු පොත දිග ඇරගෙන උන්මත්තකයන් සේ සිනාසෙයි. විටෙක මුහුණු ඇද කරගන්නේය. කන, බොන කෑම ජාති බත් පිඟන් පිටින් මුහුණු පොතේ අතුරන්නේය. විලිලැඡ්ජාවකින් තොරව අතිශය පුද්ගලික තොරතුරු පවා මුහුණු පොතෙන් සමාජගත කරන්නේය. ඒ අල්ලපනල්ලේ ඇතැම් මානසික රෝගීහු මුහුණුපොත පුරා අසභ්‍ය තොරතුරු වපුරන්නාහ. සිහිබුද්ධියෙන් බලන කෙනෙකුට දැන් මුහුණුපොත කෝලම් මඩුවකි. දැන් අප කියන්නට යන්නේ ද මුහුණු පොත නමැති කෝලම් මඩුව හරහා සංවිධානය වූ අපූරු මත්පැන් සාදයක්‌ ගැනය.


සාදය පැවැතියේ මීටියාගොඩ, ගොඩගම ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකය. පසුගිය 22 වැනිදා පැවැති සාදයට ෆේස්‌බුක්‌ හරහා හඳුනාගත් තරුණ, තරුණියන් දෙසීයක්‌ පමණ සහභාගි වෙමින් සිටියහ. මෙරට විවිධ ප්‍රදේශවල තරුණ, තරුණියන් සාදයට සහභාගි වෙමින් සිටි අතර, අනුරාධපුර, කොළඹ රත්නපුර සහ කුරුණෑගල ප්‍රදේශවලින් පැමිණ සිටි පිරිස ඉතාම ඉහළය. ඊට අමතරව ගම්පහ, පිළියන්දල, ගාල්ල ප්‍රදේශවලින් ද සැලකිය යුතු පිරිසක්‌ පැමිණ සිටියහ. සාදයට පැමිණ සිටි සියලුම තරුණ, තරුණියන් අවුරුදු විස්‌සත්, හතළිහත් අතර වයස්‌වල පසු වන්නන් වූහ. එමෙන්ම සාදයට පැමිණ සිටි සියලුම සමාජිකයන් කාලයක සිට දැන, හදුනන පුද්ගලයන් සේ කතා බහා කිරීම ද එහි තිබූ විශේෂත්වයකි.

උදෑසන ආරම්භ වූ සාදය වේග රිද්ම සංගීතය මැද සතුටු සාගරයක්‌ සේ ගලා ගියේය. අඩ නිරුවත් තරුණියෝ, මත් බඹරුන්ට වෙළෙමින් විවිධ රැඟුම් නටති. විටෙක මත් වූ තරුණයෝ කෙළි බඩු සේ තරුණියන් උඩ විසි කරති. සිප වැළඳ ගති. අනඟ රැඟුම් පාති. කති, බොති නටති. සතුටු වෙති. තැන, තැන කුඩා මේස විවිධ මසවුළුවලින් පිරී ගොස්‌ය. ඒ ඇසුරෙහි විවිධ වර්ගයේ මත්පැන් බෝතල්ය. ඒ අතර ඉස්‌තරම්ම වර්ගයේ මත්පැන් බෝතල් ද නොතිබුණා නොවේ. නැටුම්, ගැයුම් අතරේ තරුණයන් සමඟ හරි, හරියට තරුණියෝ ද මත්පැන් බොති. ඉහ, මොළ රත් වන තරමට මත් වූ තරුණියන් කෑගසති. පෙරළෙති එකම විකාරයකි. ඒ සාදයට පැමිණ සිටි ගැහැනු, පිරිමි සියලු දෙනා මොළ ගෙඩි කරච්චල් වන තරමට මත් වී සිටියහ. ඒ තරුණියන්ට සාදයේ සිටි සියලුම තරුණයන් පෙම්වතුන්ය. මොහොතක්‌ එකෙකුට තුරුළු වී සිටින තරුණිය මොහොතකින් වෙනත් තරුණයකුගේ උකුළෙහි සිට මත්පැන් බොන්නීය. සිගරට්‌ උරන්නීය. පිස්‌සු විකාරයකි.

මත්පැන්වලින් බත් වූ සාදයට ගංජා, මත් පෙති ඕනෑවටත් වඩා තිබිණි. අවශ්‍ය කෙනෙකුට මත් පෙති, ගංජා ගෙනත් දීමට සංවිධාන කමිටුව වෙනම තරුණයන් ද යොදවා තිබිණි. උත්සව ශාලාව පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය නොතිබුණු අතර, ඒ ආසන්නයේ රහසිගතව සඟවා තිබුණු බවට සැක නැත. මත් පෙති හෝ ගංජා අවශ්‍ය තරුණයන් සංවිධාන කමිටුවේ සාමාජිකයකුට කියූ විට පැය භාගයක්‌ ඇතුළතදී එකී තරුණයාගේ අතට මත්ද්‍රව්‍ය ගුලි කිරීමට සංවිධාන කමිටුව යුහුසුළු විය. එහෙත් ෆේස්‌බුක්‌ සාදයට වෙස්‌ වළාගත් පොලිස්‌ නිලධාරීන් පැමිණ සිටින බව සංවිධාන කමිටුවට මොහොතකට හෝ නොසිතුණි.

ෆේස්‌බුක්‌ මත්පැන් සාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ 22 වැනිදා උදෑසන මීටියාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති මංජුල තුෂාර මහතාට ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය. ඔහු ඒ මොහොතේ සිට එම මත්පැන් සාදය වැටලීමට අවශ්‍ය සැලසුම් සකස්‌ කළේය. ප්‍රථමයෙන් මත්පැන් සාදය සම්බන්ධයෙන් බළපිටිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සෝදිසි වරෙන්තුවක්‌ ලබාගත්තේය. අනතුරුව බේබදු තරුණ, තරුණියන් දෙසීයක්‌ පමණ සිටින සාදයක්‌ වැටලීමට පොලිස්‌ නිලධාරීන් පස්‌, හය දෙනෙකුට නොහැකි බව තේරුම්ගත් ස්‌ථානාධිපතිවරයා අම්බලන්ගොඩ, උණවටුන සහ අහුංගල්ල යන පොලිස්‌ ස්‌ථානාධිපතිවරු දැනුවත් කරමින් එම පොලිසිවලින් නිලධාරීන් එකතු කරගත්තේය. අවසානයේ පොලිස්‌ නිලධාරීන් පනස්‌ දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සංවිධානය කළේය. පසුව කණ්‌ඩායම් හතරකට බෙදූ ස්‌ථානාධිපතිවරයා එක්‌ කණ්‌ඩායමක්‌ වෙස්‌ වළාගත් ෆේස්‌බුක්‌ හිතවතුන් ලෙස සාදය පැවැති හෝටලයට පිටත් කර හැරියේය. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු ඔස්‌සේ සාදයේ උච්චතම අවස්‌ථාවේදී නොසිතූ මොහොතක පොලිසිය කඩා පාත් විය.

හෝටලයේ හිමිකරු ඇතුළුව සාදයට පැමිණ සිටි දෙසිය අටදෙනෙකු පොලිස්‌ අත්අඩංගුවට පත් වූහ. ඔවුන් අතරින් තිස්‌නවදෙනකු කාන්තාවන්ය. මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින තරුණයන් එකොළොස්‌ දෙනෙකි. ගංජා කැට, හසීස්‌, මත් පෙති, මත්ද්‍රව්‍ය අඩංගු කර නිෂ්පාදනය කරන ලද ලොලිපොප් ඇතුළුව දිවේ තියාගන්නා මුද්දර නමැති මත්ද්‍රව්‍ය ද තරුණයන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ. බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියලුදෙනා ඇප මත මුදාහැරිණි. එහෙත් මුහුණු පොත හරහා මේ මත්පැන් සාදය සංවිධානය කළ ප්‍රධාන පුද්ගලයා තවමත් නිදැල්ලේය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ පරීක්‍ෂණ ක්‍රියාත්මකව පවතී. මේ ලිපිය පළ වන විට මත්පැන් සාදයේ ප්‍රධාන සංවිධායක පොලිස්‌ දැලට පැටලී සිටීමට ඉඩ තිබේ.

වාර්තා වන අන්දමට එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මුහුණු පොත හරහා මෙවැනි මත්පැන් සාද සංවිධානය කිරීම ඔහුගේ මජර ව්‍යාපාරවල එක අංගයකි. මේ පුද්ගලයා විසින් මීට පෙර ද බොහෝ ප්‍රදේශවලදී මෙවැනි මත්පැන් සාද පවත්වා ඇති බවට කරුණු අනාවරණය වෙමින් තිබේ. සාදයට සහභාගි වන එක්‌ සාමාජිකයකුගෙන් රුපියල් තුන්දහසක්‌ අය කරන අතර මත්පැන්, මත්ද්‍රව්‍ය එකී සාමාජිකයා විසින් සපුරාගත යුතුය. කෑම, බීම, සතුටු වීමට ඇවැසි නිදහස්‌ පරිසරය අය කරන ගාස්‌තුවට ලැබෙන පහසුකම්ය. සංගීත කණ්‌ඩායමක ගැයුම්, රැඟුම් මැද දිනය පුරා සාදය පැවැත්වේ. ඒක අමුතු සාදයකි. ඒ සාදයේදී උන්හිටි තැන් අමතක වන තරමට මත් වන තරුණි යන්ට අවසානයේ අත් වන ඉරණම අතිශය වේදනාකාරී එකක්‌ වන බවට විවාදයක්‌ නැත. 

එමෙන්ම ෆේස්‌බුක්‌ හරහා සංවිධානය වූ පළමු මත්පැන් සාදය මේ නොවේ. මීට පෙරද මෙවැනි සාද ඕනෑ තරම් සංවිධාන වී ඇති බව අනාවරණය වෙමින් තිබේ. මේ මත්පැන් සාදය ගැන තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූයේ මිටියාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ දක්‍ෂතාව මතය. අපි ඔහුට මල් මිටක්‌ පුදා ස්‌තූති කරමු. තොටගමුවේ ශ්‍රී රාහුල, හික්‌කඩුවේ සුමංගල වැනි ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාගේ නිජභූමිය වූ මේ ඉපැරැණි ගම්මාන ආරක්‍ෂා කරගැනීමට එවැනි නිර්භීත නීතිගරුක නිලධාරීන් සිටිය යුතුය. එහෙත් ෆේස්‌බුක්‌ සාදය සංවිධානය කළ ප්‍රධාන සැකකරු සහ සාදයට මත්ද්‍රව්‍ය බෙදාහැරී ඔහුගේ සහචරයන් අත්අඩංගුවට නොගෙන සාදයට පැමිණ සිටි 'හරක්‌ රැළ' අත්අඩංගුවට ගැනීම පමණක්‌ ඵලක්‌ නැත. විය යුත්තේ නැවත මෙවැනි බේබදු පාටි සංවිධානය නොකරන ලෙසට සාදයේ සංවිධායකයන්ට පාඩමක්‌ උගැන්වීමය. ඒ හැරෙන්න ෆේස්‌බුස්‌ මත්පැන් සාද නතර කළ නොහැකිය.

දැන් අකුරක්‌ ඉගැනීමට පාසලකට නොගිය පුද්ගලයන් වුවද හරි උජාරුවට මුහුණුපොත අත පත ගාන්නේය. ජෝන් ප්ලේයර් හඳුන්වා දුන් දුම්වැටිය සේම මාක්‌ සකර්බර්ග් හඳුන්වා දුන් ෆේස්‌බුක්‌ සෑම මොහොතකම ලෝකයේ කොහේ හෝ තැනක ක්‍රියාත්මකය. ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍යයට මෙන් ෆේස්‌බුක්‌වලට ද ඇබ්බැහි වී සිටින බව නොරහසකි. ලොව පුරා බිලියන දෙකක්‌ පමණ භාවිතා කරන මුහුණුපොත ලෝකය සමඟ ගනුදෙනු කිරීමට දියුණු සන්නිවේදන මාධ්‍යයකි. ලෝකයේ රටවල දේශපාලන බලමුළු පෙරළීමට ෆේස්‌බුක්‌ ප්‍රධාන මාධ්‍යයක්‌ වූ බව ද නොරහසකි. මුහුණුපොත නිවැරැදිව භාවිතා කර ලෝකය සමඟ ගනුදෙනු කරමින් තම ජීවිත ගොඩනඟාගත හැකි බවද සැබෑය. එහෙත් ලෝකයේ නොදියුණු මිනිසුන් ෆේස්‌බුක්‌ භාවිතා කරන්නේ තම මානසික අසහනයකාරී බව සමාජයට මුදාහැරීමටය. අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කරමින් කාලකණ්‌ණි තෘප්තියක්‌ ලබාගැනීමටය. බාල් නටන ප්‍රියසම්භාෂණ සංවිධාන කර මුදල් ගැරීමටය. 

අප තේරුම් ගත යුත්තේ ෆේස්‌බුක්‌ නොව ඕනෑම සමාජ ජාලයක්‌ නිවැරැදිව භාවිතා කිරීමය. 'ගරා යකුන්' සංවිධානය කරන මජර පාටිවලට නොරැවටී, අසත්‍ය තොරතුරුවලට මුළා නොවී මුහුණුපොත ජීවිතයට කියෑවීමක්‌ කරගැනීමටය. එවිට අරක්‌කු බී ගෑනු එක්‌ක බාල් නැටීමට අනුරාධපුරයේ සිට ගාල්ලට එන මී හරක්‌ අවම වන බව නොරහසකි...
« PREV
NEXT »

Facebook Comments APPID