BREAKING NEWS
latest

728x90

468x60

හවස හයෙන් පසු කොළඹ කුඩු අපරාධ ගණිකා රජදහනක්‌ලු

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණි තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි හෙළි වූ බව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත් මහතා  ඊයේ (25දා) පැවැසීය.

මෙසේ පුනරුත්ථාපනය ලබන අය අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල සේවකයන් සිටින බවද ඇතැමුන් උසස්‌ තනතුරු දරන අය බවද හෙතෙම සඳහන් කළේය.

මේ අනුව සවස හයෙන් පසු අගනුවර ගණිකාවන්, කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු හෙළිවූ බවද හේරත් මහතා පැවැසීය.

පාසල් වියේ දරුවන් පවා මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමට මෙම ගැටවරයින් පුරුදුවී සිටින අතර ඔවුන්ද මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටින බව හෙළිවී ඇතැයිද සිරිසේන හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මරදාන දුම්රියපල අසල, මෝදර, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, ගල්කිස්‌ස, බම්බලපිටිය යන පළාත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිවූ බව හෙතෙම සඳහන් කළේය.

රාත්‍රියේ අගනුවර පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක්‌ සකස්‌ කර ඇතැයිද එම වාර්තාව අද හෙටම රජයේ වගකිවයුතු අංශ වෙත යොමුකරන බවද සිරිසේන හේරත් මහතා කියා සිටියේය.

පුනරුත්ථාපනය ලබමින් සිටින මැණික්‌හින්න ප්‍රදේශයේ ලාබාල තරුණියක එම කඳවුරේ නිලධාරීන්ට පවසා ඇත්තේ තමා හොඳ වැටුපකට රැකියාවක්‌ සඳහා කොළඹට පැමිණ මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුවී ගණිකා ජාවාරමට සම්බන්ධවූ බව යෑයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන
දිවයින
« PREV
NEXT »

Facebook Comments APPID