BREAKING NEWS
latest

728x90

468x60

ATM යන්ත්‍රයෙන් ලැබුණු නෝට්ටු විකෘති නම් වහාම කැමරාවට පෙන්වන්න

මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

1949 අංක 58 දරණ මුදල් පනතේ 85 ( ඊ) රෙගුලාසිය අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් කිසිවකු විසින් විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

එසේ සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටුවක් මාර්තු 31 වැනිදායින් පසු ගනුදෙනු කරුවකු සතුව තිබුණහොත් එහි පාඩුව විද දරා ගැනීමට සිදුවන්නේ එම ගනුදෙනුකරුටම බැවින් මාර්තු 31 දාට පෙර තමන් සතුව එවැනි නෝට්ටු තිබේනම්, වාණිජ බැංකුවලට ලබාදී පිරිසිදු නෝට්ටු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකරී, දීපා සෙනෙවිරත්න මහත්මිය පැවසූ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.

නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සළකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණවලට හානි පැමිණ තිබේනම් එය භාවිතයෙන් ඉවත් කළ යුතු බවද සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළාය.

විකෘති කළ මුදල් නෝට්ටු මාරු කර ගැනීමේ දිනය මාර්තු 31 ලෙස දක්වා තිබුණද ගංවතුර , ගිනි ගැනීම් වැනි ස්වාභාවික ආපදා හෝ දෛනික භාවිතයේ දී හානි සිදුවන මුදල් නෝට්ටු එලෙස මාරු කර ගැනීමට නිශ්චිත දිනයක් නොමැත. ඒවා ඕනෑම දිනයක ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරිමෙන් මාරු කර ගත හැකිය.

එහෙත් ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී විකෘති කළ නෝට්ටුවක් ගනුදෙනුකරුවෙකුට ලැබුණහොත් එහි වගකීම පැවරෙන්නේ අදාළ බැංකුවටය. මුදල් ලබා ගැනීමේදී එවැනි නෝට්ටුවක් හසු වුවහොත් කළ යුත්තේ විකෘති කර ඇති හෝ හානියට පත් වී ඇති එම මුදල් නෝට්ටුව ATM යන්ත්‍රයේ සවි කර ඇති කැමරාව වෙත දර්ශනය කර අදාළ බැංකුව වෙත ගෙන ගොස් දී ඒ වෙනුවට පිරිසිදු නෝට්ටුවක් ලබා ගැනීම බවද සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
« PREV
NEXT »

Facebook Comments APPID