BREAKING NEWS
latest

728x90

468x60

අඟුලාන දුම්රිය අනතුරෙන් මියගිය දෙන්නෙක්‌ම දුම්රිය සේවකයෝ; එක්‌ අයෙක්‌ අලුත උපන් බබා බලන්න රෝහලට යමින් සිටියේ

"දුම්රිය අනතුරින් මියගිය දෙදෙනෙක්‌ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්. ඉන් එක්‌කෙනෙක්‌ වන ධම්මික වැඩ ඇරිලා දුම්රියෙන් ගිහින් තියෙන්නේ කළුතර, නාගොඩ රෝහලේදී තම බිරිඳට උපන් දරුවා බලන්න. ඒ යද්දී තමයි ඔහු මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාලා තියෙන්නේ..." යෑයි රත්මලාන දුම්රිය අංගනයේ පරිපාලකයකු වන ඡේ. එම්. පී. ඒ. ජයවීර මහතා පැවසීය.

ලුනාව සහ අඟුලාන දුම්රිය ස්‌ථාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසකගෙන් සිවුදෙනකු මහ මාර්ගයේ පසුපසට ගනිමින් තිබූ ලොරියක පිටුපස ගැටී මරුමුවට පත්වීමේ සිද්ධිය ගැන තොරතුරු සොයන්නට කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ (06 දා) ගිය අවස්‌ථාවේ ඒ මහතා එසේ කියා සිටියේය.

අප එහි යන විටත් මෙම අනතුරින් මියගිය දෙදෙනකුගේ මෘත ශරීර කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. අනෙක්‌ දෙදෙනාගේ මළ සිරුරු ලුනාව රෝහලේ තබා ඇතැයි දැනගන්නට ලැබිණ.

කළුබෝවිල රෝහලේ තබා තිබුණේ කළුතර උතුර, උග්ගල්බඩ, මල්වත්ත හන්දියේ පදිංචිව සිටි අරුක්‌මුල්ලගේ සුසන්ත ධම්මික බණ්‌ඩාර (42) සහ කළුතර දකුණ නගර සභා නිවාසවල පදිංචිව සිටි රවීන් උදේන (41) යන දෙදෙනාගේ මෘත දේහයන්ය.

මියගිය එම දෙදෙනාම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි සේවකයෝ දෙදෙනෙකි.

ඔවුන්ගේ පවුලේ ඥතීහු කළුබෝවිල රෝහල් අධිකරණ කාර්යාලය අසල හඬා වැළපෙන ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී තවදුරටත් කතා කළ ජයවීර මහතා මෙසේ ද කීය.

"මම රත්මලාන දුම්රිය අංගනයේ වැඩ කරන්නේ. ධම්මික කියන්නේ ඕන වැඩක්‌ කරන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙක්‌. ඒ වගේම හොඳ සේවකයෙක්‌. ධම්මික 05 වැනිදා උදේ වැඩට ආවා. ඒ වැඩ කරලා ඔහු රත්මලාන දුම්රිය ස්‌ථානයෙන් කළුතර බලා යන එක්‌ස්‌ප්‍රස්‌ දුම්රියට සවස 4.40 ට ගොඩවෙලා තිබුණේ ඔහුගේ බිරිඳ කළුතර නාගොඩ රෝහලේදී ඊයේ සවස බිහිකරපු දරුවා බැලීමට යැමටයි. දුම්රියේ සෙනඟ නිසා µqට්‌බෝඩ් එකේ ගිහින් තියෙන්නේ. ඒ යනකොට අඟුලාන හරියේදී පස්‌සට ගනිමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරට ලක්‌වෙලා තියෙනවා. අනතුරින් මියගිය රවීනුත් අපේ සහෝදර සේවකයෙක්‌".

මියගිය රවීන්ගේ බිරිඳ වන නිරෝෂා ප්‍රියංගනී මහත්මිය හැඬූ කඳුළින් මෙසේ පැවසුවාය.

"අනේ මගේ රත්තරං මහත්තයාට වෙච්ච දෙයක්‌. මම කියන්නේ ලොරි රථයේ රියෑදුරාගේ රියෑදුරු බලපත්‍රය ජීවිත කාලයටම අත්හිටුවන්න කියලයි. මේ වගේ අයට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනෑ".

ලොරි රථ රියෑදුරු වන එම්. පද්මසිරි පෙරේරා මෙසේ කීය.

"මේ අනතුර සිදුවූ ස්‌ථානය අසල මළ ගෙදරකට මළ බත අරන් ආවා. ඒ ගෙදර අවසන් කටයුතු සඳහා අවමංගල පෙරහැර පිටත් වෙන්න වුණා. ඒ හරියේ පාර පටු නිසා මම ඒ අවමංගල පෙරහැරට යැම සඳහා ලොරිය දුම්රිය මාර්ගය පැත්තට රිවස්‌ කළා. ඒ රිවස්‌ කරන කොට ලොරියේ පසුපසින් යමක්‌ වැදෙන බවත් දැනුණා. ලොරියෙන් බැහැලා බලනකොට බිම වැටී සිටි පිරිසක්‌ කෑගහනවා දැක්‌කා".

කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‌ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා,

"මේ සිද්ධිය හරිම අවාසනාවන්තයි. මේ ස්‌ථානයේ මීට පෙරත් දුම්රිය පාපුවරුවේ ගිය දෙන්නෙක්‌ නවතා තිබූ ලොරියක වැදිලා මියගියා. මෙම ස්‌ථානයේ ආරක්‌ෂිත වැටක්‌ ඉදිකරනවා නම් හොඳයි. එහෙම නැත්නම් ලොරි පිටුපසට ධාවනය කරන්න බැරිවෙන්න පිළියමක්‌ යොදන්න ඕනෑ. වගකිව යුතු දුම්රිය බලධාරීන් මේ ස්‌ථානය ගැන අවධානය යොමු කළ යුතුයි".
« PREV
NEXT »

Facebook Comments APPID