BREAKING NEWS
latest

728x90

468x60

කතරගම පොලිස් වෙඩිල්ලෙන් මියගිය තරුණයාගේ නිවසට මුල්ගල් තබයි

පසුගිය 20දා කතරගම පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ කතරගම නාගහවීදියේ පදිංචිව සිටි මියගිය තරුණයාගේ දරුවාට හා බිරියට ජීවත් වීම පිණිස නව නිවෙසක් ඉදි කිරීම පිණිස ඊයේ (25දා) දහවල් මියගිය නිරෝෂන් මහතාගේ කටු මැටි නිවෙස තිබූ ස්ථානයේදී මුල්ගල තබන ලදී.

පොලිසියේ මූලික අනුග්‍රාහක දායකත්වයෙන් මෙම නව නිවෙස ඉදිකිරීම ආරම්භ කර තිබේ.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම නව නිවෙස රුපියල් ලක්ෂ 40ක වියදමින් ඉදි කිරීමට නියමිතය.

නව නිවෙස ඉදිකිරීමේ අවස්ථාවට කපුගම සරණතිස්ස හිමියන් වැඩම කර ආගමික කටයුතු සිදුකළ අතර දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, තංගල්ල පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, තංගල්ල සහකර පොලිස් අධිකාරි අතුල ද සිල්වා, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි බී. එම්.එම්. දසනායක, කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් යන මහත්වරු නව නිවෙසට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

මියගිය නිරෝෂන් මහතාගේ බිරිය චතුරිකා සඳමාලි මහත්මියගේ හා නිරෝෂන් මහතාගේ 3 හැවිරිදි පුතාගේ සුරතින්ද මුල් ගලක් තැබීම විශේෂයකි. සියලුම අංග සම්පූර්ණ පහසුකම්වලින් මෙම නිවෙස ඉදිකිරීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID