BREAKING NEWS
latest

728x90

468x60

ඌවේ දේශපාලකයෙක්‌ විදුහල්පතිනියක දණගස්‌සයි ! - කැෆේ පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

ඌව පළාතේ දේශපාලන බලවතකු විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා සිසුවියක ඇතුළත් කිරීමට බලපෑම් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්‌ යොමු කරමින් ඉල්ලීමක්‌ කොට ඇත.

එම දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා අදාළ සිසුවියගේ දෙමව්පියන් විසින් මෙම දේශපාලනඥයාගේ ලිපියක්‌ රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස්‌ ඇති අතර විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්‍ෂේප කරමින් තමන් දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක්‌ තමන් කටයුතු කරන බවත් පවසා තිබේ.

මේ බව එම දෙමව්පියන් විසින් දේශපාලනඥයා වෙත දැන්වීමෙන් පසුව ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස ඇයට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන තිබේ.

මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසන ශිෂ්ට සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක්‌ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හැඟීම බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක්‌ ගන්නා මෙන් තමන් ඉල්ලා සිටින බවත් කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කොට ඇති ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

පර්සි කුරුනේරු
« PREV
NEXT »

Facebook Comments APPID