BREAKING NEWS
latest

728x90

468x60

රන් ආලේපිත බොරු ඊයම් කැබලි ලක්‍ෂ 50 කට ව්‍යාපාරිකයකුට විකුණන්න හදලා

අනුරාධපුර පූජා භූමියේදී පුරාවිද්‍යා කැණිම්වලදී හමු වූ රන් කහවණු බව පවසා රන් පැහැ ගැන්වූ ඊයම් කැබලි කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක්‌ ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් පනස්‌ ලක්‌ෂයක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනෙක්‌ අනුරාධපුර පොලිස්‌ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ශ්‍රාවස්‌තිපුර මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාට ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලද තොරතුරකට අනුව පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ කොට්‌ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම ව්‍යාජ රන් කැබලි මිලදී ගැනීමේ මුවාවෙන් උපාය දූතයන් යොදවා ගොස්‌ සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 

වාහන අලෙවි කිරීමක්‌ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පුවත්පතක පළ කර තිබූ දැන්වීමකට අනුව දුරකථන ඇමතුමක්‌ ලබාදී ඇති සැකකරුවන් එම ව්‍යාපාරිකයා සමග දැඩි හිතවත්කමක්‌ ගොඩ නඟා ගෙන ඇත.

අනතුරුව සැකකාර තරුණයින් දෙදෙනා කැණිම්වලදී හමු වූ රත්තරන් කිලෝ දෙකක්‌ විතර අපි ළඟ තියෙනව. ඒවා අපිට නාඳුනන අයට විකුණන්න බයයි. ඔබතුමා කැමැති නම් ඒවා අරගෙන අපට රුපියල් ලක්‌ෂ පනහක්‌ දෙන්න. යෑයි අදාළ ව්‍යාජ රන් කහවණු තොගය පිළිබඳව ඔහුට පවසා තිබේ.

එම අවස්‌ථාවේ ඒ සම්බන්ධයෙන් සැක පහළ කළ අදාළ ව්‍යාපාරිකයා මම ළඟ නම් මේ වෙලාවේ එතරම් මුදලක්‌ නැති බවත් ඒ නිසා මේ ගනුදෙනුව කර ගන්න පුළුවන් මගේ හිතවත් මිත්‍රයෙක්‌ ඉන්නව. මම එයාට ඔයාලගෙ ටෙලිපෝන් නම්බර් එක දෙන්නම්. ඔහු සමග කතා කර ගනුදෙනුව කර ගන්න යෑයි පවසා එසැණින් අනතුරුව තරුණයින් දෙදෙනාගේ තොරතුරු සහ අනෙකුත් සියලු විස්‌තර ව්‍යාපාරිකයා විසින් අනුරාධපුර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා වෙත ලබා දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වැටලීම කළ ව්‍යාජ රන් කැබලි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු විසි හත සහ විසි අට වයසේ පසුවන අතර ඔවුන්ගෙන් අයෙක්‌ අනුරාධපුර වන්නියම්කුලම සහ අනෙක්‌ සැකකරු අනුරාධපුර පානියන්කඩවල හතරේ ඇළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස්‌ පරීක්‌ෂණ වලදී අනාවරණය වී ඇත. මේ පිළිබඳව අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ කොට්‌ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

පර්සි කුරුනේරු

« PREV
NEXT »

Facebook Comments APPID