“පවුලක සතුට” ජීවත්වීම සඳහා ලබා දෙන පන්නරයක් ලෙසින් පිළිගත හැකිව තිබේ. එහෙත් අද වන විට බොහෝ පවුල් ජීවිත දෙදරායන්නේ පවුලේ සතුට ඈත්වීම නිසාවෙනි. දික්‌කසාද දක්‌වා නොගිය ද බොහෝ පවුල් තුළ සතුටක් නැති ජීවිත ගත කරන තත්ත්වයක් දක්‌නට ඇත.
පසුගිය වසර කීපය ඇතුලත දික්කසාද නඩු බොහෝමයකට හේතු ලෙස සඳහන් කොට තිබුනේ සැමියගේ හෝ බිරිඳගේ සැකය සහ අවිශ්වාසය පදනම් කරගෙන ඇති වූ ආරවුල්ය.
මෙම ආරවුල් පැන නැගීමට මූලික ලෙසම බලපා තිබුනේ සමාජ ජාලා භාවිතයයි. වැඩියෙන්ම ෆේස්බුක් භාවිතයයි. සැමියා රකියාවේ නිරතව සිටියදී එකඳු දුරකථන ඇමතුමක්වත් නොදී සිටින අතර ඒවා ඉවසා දරා සිටීමට බිරිඳට හකි වූවත් සැමියා නිවෙසට වැඩ ඇරී පැමිණි පසුව ෆේස්බුක් භාවිතයේ යෙදී සිටීම නිසා මේ ආරවුල් විශේෂයෙන්ම අතිවී තිබේ.
බිරිඳගේ සමාජ ජාලා භාවිතය නිසා ආරවුල් පැන නඟින පවුල් තුල බොහෝමයක් සැමියන් තම බිරිඳගේ අනියම් සම්බන්ධතා ගැන සැක පල කරයි.
එමෙන්ම පවුලේ සතුට නැති කිරිමට මානසික රෝගවල බලපෑමක් ඇති බව අප නොදැන සිටිය ද බොහෝ තැනක එම කාරණාව ඉස්‌මතු වන අයුරක් දක්‌නට ඇත.
“අපි ඇයට රමණී යෑයි කියමු. රමණී මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණේ කායික රෝග වෛද්‍යවරයෙක් විසිනි. රමණීගේ ප්‍රධාන පැමිණිල්ල වී තිබුණේ ඇයට සුව නොවන භයානක රෝගයක් තිබෙන බවයි. මෙතෙක් කරන ලද කිසිම වෛද්‍ය පරීක්‍ෂණයකට ඇගේ සිරුර තුළ තිබෙන භයානක රෝගය හසු වුණේ නැති බවට ඇය මැසිවිලි නගන්නීය.
වෛද්‍යවරයා, රෝගියා පරීක්‍ෂා කිරීමෙන් පසු සොයාගත් තොරතුරු විස්‌තර කරමින්,
රෝග ඉතිහාසය පිළිබඳ මදක් විමසා බැලීමේදී ඇය පවසා සිටියේ සොයාගත නොහැකි භයානක රෝගය නිසාවෙන් මුළු සිරුරම වේදනාවෙන් හා අප්‍රාණිකත්වයෙන් පෙළෙන බවයි. මේ නිසාම ඇයගේ නිවසේ කටයුතු මෙන්ම කාර්යාලයේ කටයුතුත් මඟහැරී ඇති බවට ඇය කරණු කාරණා පැහැදිලි කළා. ඇයගේ හීන ඵලදායිතාවය තේරුම් නොගත් ස්‌වාමිපුරුෂා නිතර ඇය සමඟ බහින්බස් වීමට හේතුව ලෙසින් ඇය ඉදිරිපත් කළේ නිවසේ වැඩ කටයුතු ඇය අතින් ඉටු නොවීමයි. ඇය පැවසූ ආකාරයට ඇයට රාත්‍රියේ නින්ද නොයන තත්ත්වයකුත් තිබුණා. සිරුරට දැනෙන අපහසුතාවය මත පෙර මෙන් කිසිම දෙයකට උනන්දුවක් නොවන බවට ඇය මැසිවිලි නඟනවා. රස්‌සාවට යන්නේ ගත්තු නිවාස ණය ගෙවා ගැනීමට නිසා බවයි ඇය පවසන්නේ. ණය නැතිනම් රැකියාවෙන් ඉවත් වී නිවසේ සිටින බවත් ඇය කියනවා..
හැම දෙයම හැම වගකීමක්‌ම හැම යුතුකමක් ම ඉටු කළ මට වුණු දෙයක් කියමින් ඇය හඬා වැටෙනවා.
“අපි බොහෝ සතුටින් ජීවත් වුණු පවුලක්. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මමයි මහත්තයයි අතර කවදාවත් මහ ලොකු රණ්‌ඩු ඇතිවෙලා නැහැ. මගේ අසනීපය නිසා හැම දේම වෙනස් වෙලා.” ඇය පවසන්නේ එහෙමයි. මගේ අසනීපය කිසිම වෛද්‍ය පර්යේෂණයකට අහුවෙන්නේ නැති නිසා අපේ ගෙදර අපිත් සමඟ ඉන්න තාත්තයි අම්මයි නිතරම මට බෝධි පූජා කරනවා. ළඟදී කට්‌ටඩියෙක් ගෙන්නලා දෙහි කපලා නූලකුත් දැම්මා. ගෙදර ආරක්‍ෂාවක් කරලා යන්තරේකුත් දැම්මා. ළඟදී පිරිතකුත් කියන්නයි ඉන්නේ. ඒත් මම දන්නවා මේ විදිහට වැඩිකල් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා ඇය කියනවා. මගේ මේ රෝගය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙලා. මහත්තයාගේ ව්‍යාපාර කටයුතුත් අඩාල වෙලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්න, ගෙදර කටයුතු කරන්න, ගෙදර අය එක්‌ක එකට ඉඳගෙන කෑමක් බීමක් ගන්න, මේ වගේ කිසිම දෙයකට මගේ දැන් කිසිම සැලකිල්ලක් නැහැ.
මේ තත්ත්වය කොයි තරම් කාලයක ඉඳලා තියෙනවද? වෛද්‍යවරයා ඇයගෙන් අසනවා.
මට හරියටම මතක නැහැ. ඒත් මම ඉස්‌සෙල්ලා වැඩ කරපු කර්යාලය තිබුණේ නිවසේ ඉඳලා පැයක තරම කාලයකින් යන්න පුළුවන් දුරක. දැන් අවුරුද්දක විතර කාලයකට පෙර මට මාරුවක් ලැබුණා. මම වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක. අපේ ආයතනවල ඇතැම් අවස්‌ථාවල බොහෝ පළිගැනීම් සිදුවන තත්ත්වයක් තිබෙනවා. මගේ මාරුවත් එහෙම එකක්. මාරුව ලැබුණු දිනයේ ඉඳලා මගේ එදිනෙදා කටයුතු හැම දෙයක්‌ම වෙනස් වුණා. ඒකට හේතුව වුණේ සේවා ස්‌ථානයට යන්න පැය දෙකහමාරක් තුනක් පමණ කාලයක් ගත වන නිසා. ඒ නිසා මගේ මනස සන්සුන් නැහැ. ඒත් මගේ ලෙඩේට මේ තත්ත්වය බලපානවද කියලා මට තේරුමක් නැහැ. ඇය විස්‌තර කරනවා.
ඇයගේ වෛද්‍ය වාර්තා සියල්ල සාමාන්‍ය තත්ත්වයේ වූ නිසාම ඇයට ජීවිතයේ වැඩිපුරම දුක්ත පාර්ශ්වය හුවා දක්‌වන ජීවන සංතෘප්තිය අහිමි වන සතුට නැතිවන ලෝකයේ මිනිසුන් වැඩිපුරම පීඩා විඳින මානසික රෝගය වන විශාදය නමැති රෝගය එසේත් නැත්නම් දේශීය වෙදකමේ දී හඳුන්වන සිත් පෙරළුම් රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරයා කරුණු අවබෝධ කර ගන්නවා.
මෙම රෝගයේ මූලික ලක්‍ෂණ ලෙසින් රෝගීන් වැඩිපුරම ඉදිරිපත් කරන්නේ කායික රෝග ලක්‍ෂණ. මේ නිසාම මෙම රෝගය කායික රෝග වෙස් වලාගත් මානසික රෝගයක් හැටියට හඳුන්වාදීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම මෙයට ලාක්‍ෂණික වූ තවත් ලක්‌ෂණයක් නම් මෙම තත්ත්වය හරි හැටි අවබෝධ කර ගැනීමට රෝගියාට තිබෙන නොහැකියාවයි. එනිසාම රෝගියාට භයානක සුව නොවන පරීක්‍ෂණවලට හසු නොවන රෝගයක් ඇති බවටයි ඔවුන් නිගමනයකට පත්වන්නේ. මේ නිසාම ඇතැම් අවස්‌ථාවල වෛද්‍යවරුන් පවා වැරදි නිගමනවලට පත්වන අවස්‌ථා බොහෝයි. රෝගීන් ද දහස් ගණනින් මුදල් වියදම් කරමින් නොයෙක් ආකාරයට සුවයක් සොයනවා.
නමුත් මෙම තත්ත්වය උපදේශනය මත ඖෂධ ප්‍රතිකාර මගින් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ඇත. සමාජය තුළ ඇති අනාවබෝධය නිසාම මෙම තත්ත්වය මානසික ගැටලුවක් නොව පවුල තුළින් පැන නගින සමාජමය ගැටලුවක් වශයෙන් ඉදිරිපත් වූ බවට ඉහත කතාවේ රමණිගේ පසුබිම තුළ තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා.
මේ නිසාම මානසික රෝගයක් යනු හුදු වෛද්‍ය විද්‍යාත්මක ගැටලුවක් පමණක් නොව එය සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් පුද්ගලයන් පිරිහීමට ලක්‌කරන තත්ත්වයක් බව තේරුම් ගත යුතුයි. මේ සඳහා හේතු සාධක හැටියට තමන්ගේ ගැටලුව නිදහසේ කතා කරන්නට කෙනෙක් නොසිටීම තුළ ගැටලුව සිතේ තදකරගෙන සිටීම බලපෑ හැකි නිසාවෙන් අපකාගේ වුව මානසික සෞඛ්‍යයට එය හිතකර සාධකයක් නොවිය හැකි බව සඳහන් කළ යුතුය. එමෙන්ම කෙනෙකුගේ පෞරුෂ ආබාධ වැනි ලක්‍ෂණයන් තිබේ නම් මේ සඳහා බලපාන හේතුවක් ලෙසට එය පෙන්වා දිය හැකියි.
එමෙන්ම පරම්පරාවේ අයෙකුට මෙවැනි වූ රෝගයක් වැළඳී තිබුණේ නම් එම සාධකයන් බලපෑම මත යමෙකුට රෝගය වැළඳීමට අවධානමක් ඇත. තවත් විටෙක ළමා කාලයේදී අත්විඳින, අත්දකින කටුක අමිහිරි අත්දැකීම් මේ සඳහා බලපෑමට පුළුවන. දෙමාපියන් අතර අඬදබර, පවුල් ජීවිත තුළ තිබෙන අසමගිය වැනි කාරණා ද රෝගයට හේතුවක් විය හැකි අවස්‌ථා ඇත. මවුපියන් හැරයැම, අපයෝජනයට ලක්‌වීම වැනි කාරණාවන්ද රෝගයට හේතු විය හැකිය.
මානසික රෝගයක් නිසාවෙන් එම පුද්ගලයා දැඩි අපහසුතාවට පත්වීමට පුළුවන. එපමණක් නොව පවුලේ සාමාජිකයන් පවා දැඩි අපහසුතාවකට පත්වන අතර රමණිගේ කතාවෙන් ඒබව හොඳ හැටි පැහැදිලි වනු නිසැකය. රමණි වෛද්‍ය ප්‍රතිකාර හමුවේ සම්පර්ණ සුවය ලැබූ අතර ඇයගේ මානසික තත්ත්වය තවදුරටත් ගොඩනගා ගැනීමට භාවනාව වැනි ක්‍රම යොදා ගැනීමේදී ඇය නැවත පෙර ජීවිතයට අනුගතව සතුටින් කල් ගෙවන්නීය.
මෙවැනි වූ ප්‍රශ්න හමුවේ පවුල් ජීවිත තුළ බොහෝ පීඩාවෙන් ජීවිත ගෙනයන බිරින්දැවරුන්, දරුවන් සිටින අයුරක් සමාජය හමුවේ හොඳ හැටි දක්‌නට ලැබීමේදී එය මරණයෙන් කෙළවර වන අවස්‌ථා පිළිබඳ අද වන විට අසන්නට දකින්නට ලැබේ.
ඔබ බිරිඳ නම් සැමියාගේ අවිශ්වාසයට තුඩු දෙන කිසිවෙක් නොකරන්න..ඔබ හදවතින්ම ඔහුට ඔබේ පවුලට ආදරය කරන්න..හැඟීම් වලට වහල් නොවෙන්න..තේරුම් ගන්න..කව් රුන් හෝ අනවශ්‍ය බලපෑම් එල්ල කරනවානම් සුහද සිතින් එය බැහැර කරන්න..
ඔබ සැමියෙක් නම් කල්පනා කරන්න ඔබ ඔබේ වගකීම යුතුකම වන්නේ බිරිඳට හා දරුවන්ට මුදල් හම්බකරදී ඇඳුම් පැලඳුම් හා කෑම බීම සපයා දීම පමණක් නොවේ. ආදරය කරන්න..බිරිඳ ගැන සැලකිලිමත් වෙන්න..ආදරය කරපු කාලයේදී මෙන් විහිලු තහලු කරන්න..දරුවන් හුරතල් කරන්න..එය ඔවුන්ගේ ප්‍රීතියට, පවුලේ ප්‍රීතියට මෙන්ම ඔබගේ මානසික නිදහසටද හේතු වෙයි.
එබැවින් අපට අවසාන ලෙස සඳහන් කල හැක්කේ ප්‍රශ්නයක් උද්ගත වන පළමු අවස්ථාවේදිම එය සැමියා හා බිරිඳ සුහදශීලීව කතා බස් කොට විසඳගෙන තම පවුල් ජීවිතය විසිරුවා නොගෙන සිටීමට වග බලා ගත යුතුය. නැතහොත් ඉන් අසරණ වන්නේ අහිංසක දරුවන්ය.