BREAKING NEWS
latest

728x90

468x60

හතුරුසිංහගේ ඉල්ලා අස්වීම බංගලාදේශය තවමත් භාරගෙන නෑ

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එහෙත් තමන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බවත් ඩකා අගනුවර දී මාධ්‍ය හමුවක් ඇමතූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් සඳහන් කළේය. ඔහුගේ දුරකථනයට ඇමතූ නමුත් චන්දික හතුරුසිංහ එයට පිළිතුරු නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු දැනට පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගැනීමට නියමිත බවට ජනමාධ්‍ය වාර්තා කර තිබිණ. විශේෂයෙන්ම බංග්ලාදේශයේදී ඔහුගේ සහාය පුහුකරුවෙකු ලෙසින් ක්‍රියා කළ තිලාන් සමරවීර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසින් පත්කරනු ලැබීමත් සමග හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු පදවිය භාරගැනීමේ හැකියාව ඉහළ යන බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ක්‍රීඩාලෝලීන් පෙන්වා දී තිබුණි.

හතුරුසිංහ ඉතා දක්ෂ පුහුණුකරුවෙකු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ද පසුගියදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
බීබීසී සිංහල සේවය ද බංග්ලාදේශයේ ඔහුගේ නිල දුරකථනයට කිහිප වරක්ම ඇමතූ නමුත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

බංග්ලාදේශ කණ්ඩායම මෑත දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ දී දස්කම් දැක්වීමට අපොහොසත්වීම පිළිබඳව ප්‍රබල විවේචන එල්ල වෙමින් පැවති බව බීබීසී බෙංගාලි භාෂා සේවයේ මාධ්‍යවේදීහු පවසති.
චන්දික හතුරුසිංහගේ උපදෙස් යටතේ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කණ්ඩායම තුළ තමන් සිදු කළ ‘සංස්කෘතිමය වෙනස’ එම ජයග්‍රහණවලට බොහෝ සෙයින් හේතු වූ බවය.

“මම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අහපු පළමු ප්‍රශ්නය තමයි, ඔබට අවශ්‍ය ලෝකේ ඉන්න හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා නිර්මාණය කිරීමද?, නැතිනම් කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන එකද? කියන කාරණය,” චන්දික හතුරුසිංහ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බීබීසී සිංහල සේවයට පැවසීය. මීට ඉහත අවස්ථාවක ද පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහු උත්සාහ කළ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කළහ.

කලක් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් සේවය කළ උපුල් චන්දික හතුරුසිංහ පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID