BREAKING NEWS
latest

728x90

468x60

සයිටම් ගැන තීරණ ගැනීමේ අයිතියක් වෛද්‍ය සභාවට නැතිලු

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙහි (සියටම් හි) අවම ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කිරීමට හෝ තීරණ ගැනීමට කිසිඳු අයිතියක් හෝ හැකියාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නැති බව නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. එබැවින් එම අවම ප්‍රමිති තීරණය මත පදනම්ව සයිටම් සිසුවිය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය වැරැදි බැවින්, සයිටම් සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම විභාගයට අවසර නොදී නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අභියාචනාධිකරණයෙන් දෙන ලද ‘සයිටම්’ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජේ රාජරත්නම් මහතා මේ බව කීය.
බුවනෙක අලුවිහාරේ, සිසිරද ආබෲ, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේද කීය.

උපාධි ප්‍රදාන ආයතන ගැන තීරණ ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය පනත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත මගින් විශේෂ රෙගුලාසි පනවා තිබෙනවා. ඒ අනුව උපාධි ප්‍රදාන ආයතනයක අවම ප්‍රමිතිය තීරණය කිරීම සඳහා වන රෙගුලාසි උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් සකස්කළ යුතුයි. ඒ සඳහා විශේෂ නිරීක්ෂණ කමිටු පත් කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට පවරා තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවම ප්‍රමිතිය පරීක්ෂා කළ බව ඔවුන් විසින්ම පිළිගෙන තිබෙනවා. එහෙත් ඒ සඳහා බලයක් ඔවුන්ට නැහැ. ඒ වන විට ඇමැතිවරයා විසින් එවැනි රෙගුලාසි සකස් කර ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ. එබැවින් එවැනි අවම ප්‍රමිතියක් ගැන තීරණ ගැනීමේ හැකියාවක් නීතියට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නැහැ.

සයිටම් ආයතන 2011 වසරේ දී ආරම්භ කළා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාග වුණා.

ඒ කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවශ්‍ය තරම් කාලය තිබුණත් ඊට මැදිහත් වූයේ නැහැ.

සයිටම් උපාධිය ලැබූ සිසුවියට ලියාපදිංචිය දීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීති නිලධාරියකු ලිපියක් යවා තිබෙනවා. එහි දක්වා ඇති නීතිමය කරුණු සහ වගන්ති වැරැදියි. එම ලිපිය අභියෝගයට ලක්කරමින් එම සිසුවිය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වැරැදි ලෙස කටයුතු කර ඇති බව අභියාචනාධිකරණ‍යද සිය තීන්දුව මඟින් පිළිගෙන තිබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID