BREAKING NEWS
latest

728x90

468x60

ඇඟ තුළ රත්තරන් සඟවාගෙන පැමිණි සුරුපිනියන් දෙදෙනා රේගුවට කොටුවූ හැටි මෙන්න


රත්තරං මිල සෙමින් වැඩි වෙමින් තිබේ. වාර්තා වන අන්දමට මේ දිනවල දේශීය වෙළෙඳපොළේ පවුමක මිල රුපියල් පනස්‌දහස ඉක්‌ම යමින් තිබේ. වෙළෙඳපොළේ රත්තරං මිල ඉහළ යන විට පිටරටවල සිට හොර පාරෙන් මෙරටට රත්තරං ගෙන එන හොරු ද සීග්‍රයෙන් වැඩි වෙමින් තිබේ. පසුගිය දිනක නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ රත්තරං තොගයක්‌ සමඟ කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඩුබායි රාජ්‍යයේ සිට රත්තරං තොගය මෙරටට ගෙනැවිත් තිබුණේ කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි. ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්‌ වන බැවින් අපි එම කාන්තාවන් දෙදෙනාගේ නම් සඳහන් කිරීමෙන් වැළකී සිටිමු. සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.

පසුගිය 13 වැනිදා අලුයම 5.05 ට පමණ සුපුරුදු පරිදි ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 226 ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ නතර විය. අලුත් දවසකට මෙරටට පය තැබූ ගුවන් මගීහු විවිධ පරීක්‍ෂණවලට භාජන වෙමින් තිරුබදු රහිත සාප්පු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටියහ. රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීහු ද සීසීටීවී කැමරා ඔස්‌සේ ගුවන් මගීන්ගේ හැසිරීම් රටාව මෙන්ම ඔවුන් ගෙන එන ගමන් මලු නිරීක්‍ෂණය කරමින් සිටියහ. 226 ගුවන් යානයෙන් බැස ග්‍රීන් චැනලය ඔස්‌සේ පැමිණෙමින් සිටි රූමත් කාන්තාවන් දෙදෙනකු අසල රේගු දෑස්‌ නතර විය.

වැඩි විච්චූරන නැති වුවද ඔවුන් හැඳ පැළඳ සිටි ඇඳුම් පැළඳුම් සිත් ගන්නා සුලුය. කාන්තාවන් දෙදෙනාම වාත්තු කළා සේ පියකරුය. ඔවුන්ගේ කතා කරන දෑස්‌ රූපසෝබාව නොදැක පිටු පා යන කෙනෙක්‌ නොසිටි ගානය. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන ඔවුන් කතා කරන සුනංගුවට ඕනෑම කෙනෙක්‌ මඟහැර නොගියේය. එහෙත් සිත් වසඟයට පත්කරවන ඒ රූබර කාන්තාවන්ගේ හැසිරීම තරමක්‌ නොසන්සුන්කාරී විය. පළපුරුදු රේගු නිලධාරීහු සීසීටීවී කැමරා ඔස්‌සේ එම කාන්තාවන් පසුපස ලුහුබැන්දහ. තවත් කාන්තාවක්‌ සමඟ කතා බහ කරමින් ඉදිරියට පැමිණි කාන්තාවන් දෙදෙනා තම ගමන්a මලු එක ට්‍රොලියකට දමා එය තල්ලු කරගෙන යැම සඳහා ගුවන්තොටුපළ සේවකයෙක්‌ යොදාගන්නා අයුරු ද රේගු නිලධාරීහු දුටහ. එහෙත් ගුවන් තොටුපළෙන් පිටවීමට දක්‌වන හදිසිය විනා වෙන කිසිදු හෝඩුවාවක්‌ මේ කාන්තාවන්ගෙන් ප්‍රදර්ශනය නොවිණි. රේගු නිලධාරීහු ද දෑස්‌ නොගත්හ. තමන් වටා රේගු දැල එලී තිබෙන බව ඒ කාන්තාවන් ද දැන නොසිටියහ. ඔවුන් දෙපළ සියලු පරීක්‍ෂණවලින් සමත්වී ගුවන්තොටුපළෙන් පිට වී බැංකු කවුන්ටරයක්‌ අසල නතර විය.

වේලාව වේගයෙන් ගෙවී යයි. කාන්තාවන් දෙදෙනා නොඉවසිලිමත්ය. නෝක්‌කාඩුවෙන් මොන, මොනවාදෝ මුමුණනු පෙනේ. සීසීටීවී කැමරා දර්ශන ඔස්‌සේ කාන්තාවන් දෙදෙනා ලුහුබඳිමින් සිටි රේගු නිලධාරීන්ට සැකය වැඩි විය. ඔවුහු පෙරළා ඉහළ නිලධාරීන් දැනුවත් කළහ.

‘වහාම අත්අඩංගුවට අරගෙන පරීක්‍ෂණ කරන්න…’ ඉහළින් ලැබුණු අණත් සමඟ ක්‍රියාත්මක වූ රේගු නිලධාරීහු කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ගමන්a මලු පරීක්‍ෂා කිරීම ආරම්භ කළහ. පිපුණු මුහුණු මැළවිණි. හිමිදිරි උදෑසන කාන්තාවන් දෙදෙනාගේ සුදු වත පුරා දහඩිය බේරිණි. දියෙන් ගොඩ ගත් මාළු පැටව් දෙදෙනකු මෙන් ගැහිණි. එහෙත් ගමන් මලුවල සැකසහිත කිසිවක්‌ නැත.

‘සර්… ගමන් මලුවල නම් මොනවත් නෑ. ඒත් බයේ වෙව්ලනවා…’ නැවත රේගු නිලධාරීහු ඉහළ නිලධාරීන් දැනුවත් කළහ.

‘අත අරින්න එපා… ශරීර පරීක්‍ෂාවක්‌ කරලා බලන්න…’ ඉහළින් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කළ රේගු නිලධාරීහු සැකකාර කාන්තාවන් දෙදෙනා රේගු කාන්තා නිලධාරිණියකට භාරදුන්හ.

‘මැඩම් පරීක්‍ෂා කරන්න දෙයක්‌ නෑ… මගේ ඇඳුම් ඇතුළේ රත්තරං තියෙනවා…’ එක්‌ කාන්තාවකගේ මුව විවර විය. වචන පැටලිණි.

එහෙත් රේගු නිලධාරිනිය එම කාන්තාවගේ ශාරීරය හොඳින් පරීක්‍ෂා කළාය. රත්තරං බඩු සහිත පර්සල් අටක්‌ කුසට තද කර එය ආවරණය වන ලෙස කාන්තාවන්ගේ කුස ඉදිරියට නෙරා එම වැළක්‌වීම සඳහා භාවිත කරන පටියක්‌ බැඳ තිබිණි. අනෙක්‌ කාන්තාව සන්තකයේ සැක සහිත කිසිවක්‌ නොතිබිණි. අත්අඩංගුවට ගත් පාර්සල් ඉටි කවරවලින් මනා ලෙස ආවරණය කර තිබිණි. එමෙන්ම කිලෝ අටක්‌ බරැති රත්තරං බඩු තොගය සිත්ගන්නා සුලු අන්දමින් නිර්මාණය කර තිබූ මාල, පෙන්ඩන්, මුදු සහ අත්පළඳනාවලින් සමන්විත වී තිබිණි.

මෙහෙයුමට සම්බන්ධ වූ රේගු නිලධාරීන් කණ්‌ඩායම

රේගු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව මේ කාන්තාවන් දෙදෙනාගෙන් එක්‌ අයකුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා සතියකට පෙර ඉන්දියාවට ගොස්‌ ඇත. ඇයගේ අත්උදව්ව සඳහා අනෙක්‌ කාන්තාව ගමනට එකතු වී සිටිති. වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා විශාල මුදලක්‌ ඇවැසි බැවින් දැනහඳුනන ඉන්දීය ව්‍යාපාරිකයකු මාර්ගයෙන් මෙම රත්තරං ජාවාරමට සම්බන්ධ වී ඇත. පසුව එම කාන්තාවන් දෙදෙනා ඩුබායි බලා පිටත්ව ගොස්‌ ඇත්තේ ද ඉන්දීය ව්‍යාපාරිකයා සමඟය. අනතුරුව රත්තරං තොගය රැගෙන ඩුබායිවල සිට ලංකාවට පැමිණ ඇත්තේ කන්තාවන් දෙදෙනා පමණි. කිසිදු බාධාවකින් තොරව ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් එළියට පැමිණි ඔවුන් දෙදෙනා බැංකුව අසල නතර වී සිට ඇත්තේ රත්තරං බඩු තොගය භාරගන්නා පුද්ගලයාගෙන් දුරකථන ඇමතුමක්‌ ලැබෙන තුරුය. එමෙන්ම මේ කාන්තාවන් දෙදෙනා නිරන්තරයෙන් විදේශ සංචාරවල නිරත වන බවද පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

රේගු අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කළ රේගු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්‌නායක මහතා විසින් රත්තරං බඩු තොගය සඟවාගෙන පැමිණි කාන්තාවට රුපියල් ලක්‍ෂ විසිපහක දඩයක්‌ නියම කර ඇති අතර අනෙක්‌ කාන්තාව දඩයකට යටත් නොකොට නිදහස්‌ කර ඇත. එහෙත් නීති විරෝධී ලෙස මෙරටට රත්තරං ගෙනඒම සම්බන්ධයෙන් පරීක්‍ෂණ දීර්ඝව කරගෙන යන බව බස්‌නායක මහතා අප සමඟ පැවසීය.

“කාලයක ඉඳලා මේ රත්තරං ජාවාරම සිදු වෙනවා. ජාවාරම්කාරයෝ ඩුබායි, සිංගප්පූරුවල ඉඳලා රත්තරං තොග මෙරටට ප්‍රවාහනය කරලා මුහුද හරහා ඉන්දියාවට ගෙන යන අවස්‌ථා තියෙනවා. ලංකාවේ වගේම රත්තරංවලට ඉන්දියාවෙත් ඉහළ ඉල්ලුමක්‌ තියෙනවා. සිංගප්පූරුවලටත් වඩා ඩුබායි රටේ රත්තරං මිල අඩුයි. කැරට්‌ දහඅට, විසිදෙක, විසිහතර ඕනෑම කැරට්‌ ගානකට නිෂ්පාදිත බඩු ගන්න පුළුවන්…”

මේ රත්තරං ජාවාරම යට ඉන්නේ ඉන්දියාවේ සුපිරි ව්‍යාපාරිකයෙක්‌. මේ කාන්තාවන් දෙදෙනා ඩුබායි රටට ගිහින් තියෙන්නෙත් ඒ ජාවාරම්කාර ව්‍යාපාරිකයා සමඟය. මේ තුන්දෙනා ඉන්දියාවේ ඉඳලා ඩුබායිවලට යනකොට නීති විරෝධීව විදේශීය මුදල් තොගයක්‌ රැගෙන ගිය බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දීය ව්‍යාපාරිකයා ජාවාරම් කටයුතු සඳහා යොදාගන්නේ සුරූපී කාන්තාවන්. දැන් ලෝකය පුරා ජාවාරම්කාරයෝ කොකේන් ප්‍රවාහනයට වගේම විවිධ නීති විරෝධී භාණ්‌ඩ ප්‍රවාහනයට යොදාගන්නේ සුරූපී කාන්තාවන් බව අනාවරණය වෙලා තියෙනවා. සමහර මිනිස්‌සු කාන්තාවගේ රූපයට වහ වැටෙනවා. ජාවාරම්කාර කාන්තාවන් තම ලස්‌සන ආයුධයක්‌ කරගෙන ආරක්‍ෂක අංශවලින් රිංගලා යන අවස්‌ථා තියෙනවා. ඒත් දැන් කටුනායක ගුවන්තොටුපළෙන් හොරුන්ට රිංගන්න ඉඩක්‌ නෑ. අපි නවීන තාක්‍ෂණය භාවිතා කරමින් පරීක්‍ෂණ කටයුතු සිදු කරනවා. සැකසහිත කිසිම කෙනෙකුට එළියට එන්න දෙන්නේ නෑ. ඡාවාරම්කාරයන්ට තම බඩු තොග පිටතට ගන්න බැරි වෙනකොට ගුවන්තොටුපළ සේවකයන්ට, ගුවන් තොටුපළ ආරක්‍ෂක නිලධාරීන්ට, රේගු නිලධාරීන්ට සල්ලි දීලා ඔවුන් හරහා බඩු තොග පන්නා ගත්තා. එම ගුවන්තොටුපළ සේවකයන් හොර බඩු තොග දෙපාවල, බඩේ බැඳගෙන ගුවන් තොටුපළෙන් එළියට පැමිණි අවස්‌ථා තියෙනවා. ඒ කාලේ ගුවන් තොටුපළ හැඳුනුම්පත සහිත සේවකයන් පරීක්‍ෂා කළේ නෑ. දැන් අපි සැකසහිත සියලුම ගුවන්තොටුපළ සේවකයන් පරීක්‍ෂා කරනවා. මේ මෑතක දවසක රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙක්‌ රත්තරං තොගයක්‌ කකුලේ බැඳගෙන එළියට එනකොට අත්අඩංගුවට ගත්තා. මොන තරාතිරමක කෙනෙක්‌ වුණත් සැක සහිත නම් පරීක්‍ෂා කරනවා…” බස්‌නායක මහතාගේ අදහස්‌ දැක්‌වීම අවසානය. මේ ටිකත් සඳහන් කර තැබීම අපේ කැමත්තය.

වාර්තා වන අන්දමට කටුනායක ගුවන් තොටුපළ රේගුවේ පැවති බොහෝමයක්‌ සිදුරු වසා ඇත. දැන් ජාවාරම්කාරයන්ට රේගුවෙන් පැන යැම අතිශය අසීරුය. එක දිගට ගුවන් තොටුපළේදී බඩුත් සමඟ හොරු කොටු වෙන්නේ රේගු දැල ශක්‌තිමත් නිසාය. එහෙත් තවමත් රේගු දැලේ පුංචි, පුංචි සිදුරු ඇති බවට සැක නැත. එහෙයින් එම සිදුරු ද විශාල වීමට පෙර වසා දමා රේගු ආරක්‍ෂක අංශය ශක්‌තිමත් කරන්නේ නම් ගුවන්තොටුපළ සුරක්‍ෂිතය. එය රටේ යහපැවැත්මට ද ශක්‌තියකි.
« PREV
NEXT »

Facebook Comments APPID