BREAKING NEWS
latest

728x90

468x60

කාන්තාවන් 65ක් අමාරුවේ දැම්ම අනංගයෙක් කොටුවෙයි

ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 65ක් ඇතුළු පුද්ගලයන් රැසක් නොමඟ යවමින් කෝටි 10කට අධික මුදලක් වංචා කළ, අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබූ පුද්ගලයකු යක්කලමුල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ යක්කලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය එහි ගොස් තිබේ. ඒ වනවිට මෝටර් රථය හැරදමා සැකකරු පැනගොස් ඇති අතර පසුව කළ විමර්ශනයකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ප්‍රදේශ කිහිපයක කාන්තාවන් 65 දෙනකු මුළා කරමින් මුදල් වංචා කර ඇති බවටත් එම කතුන් අතරින් 40කට අධික පිරිසක් සමඟ අඹු සැමියන් ලෙස සිටි බවටත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ තේ විකිණීමකට අදාළ රුපියල් 78,53,890 මුදලක්, ගාල්ලේ කාන්තාවකට කෝටි 2කට ආසන්න මුදලක්, වඳුරඹ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන පසුව නිවෙස අයිතිකාරිය එම නිවෙස විකිණීමට පොලඹවාගෙන එම නිවෙස රුපියල් ලක්ෂ 15කට විකිණීම ගාල්ල මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති රුපියල් 10,32,000ක් අගරු චෙක්පත් ලබාදීමෙන් කළ වංචාව, ගාල්කිස්ස අධිකරණයේ පවරා ඇති මුදල් වංචාව, අරුන් ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන්නෝ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කොට එම ආයතනයෙන් රජයට අය විය යුතු බදු මුදල් රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක් නොගෙවා පැහැර හැරීම, ලොකුගේ එන්ටප්‍රයිසස් නමැති ආයතනයක් ලියාපදිංචි කර රජයට අයවිය යුතු රුපියල් හාර කෝටි 35 ලක්ෂයක් ගෙවීම පැහැර හරිමින් වංචා කිරීම ඇතුළු වංචා රැසක් මොහු කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙයට අමතරව වැඩිදුර විමර්ශනවලදී තවත් වංචාවන් රැසක තොරතුරු හෙළිවෙමින් පවතින බව යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතා කීය.

වයස අවුරුදු 30-70 අතර කාන්තාවන් වැඩි පිරිසක් මේ පුද්ගලයාගේ වංචාවන්ට හසුවී තිබෙන බව අනාවරණය වී තිබේ.
රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ප්‍රභූ පුද්ගලයන් ඇසුරු කරමින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර තුර මොහු මෙම වංචාවන් කර ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බව පොලිසිය කියයි.
සැකකරු 38 හැවිරිදි හිනිඳුම නවැසිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2010 වසර තරම් අෑත කාලයක සිට මෙම වංචාවන් කර ඇතත් නීතියේ රැහැනින් ගැලවී සිටීමට විවිධ පුද්ගලයන්ට අත දිගහැර වියදම් කොට ඇතැයිද වාර්තාවේ.
ගාල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ගිනිගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු සිදුවේ. මෙම පුද්ගලයා විසින් වංචාවන්ට හසුකර ගනු ලැබූ විවිධ පුද්ගලයන්ගේ සියලුම දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබාදෙමින් තමා වංචාකරුවකු ලෙස නොහැඟවෙන ලෙස ක්‍රියා කිරීම තුළ අදටත් වංචාවන්ට හසුවූ පුද්ගලයන් තමා වංචාවකට හසුවූ බව නොදැන සිටින බවද පොලිසිය සඳහන් කරයි.

මෙවැනි ආකාරයක වංචාවකට ඔබ හසුවී ඇත්නම් වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට එම තොරතුරු දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය මත යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, පොලිස් පරීක්ෂක දිමුත් චමීර, පො.කො. ශාන්ත (58962), පො.කො. අමරසිංහ (40679), පො.කො. තුෂාර (73056), පො.කො. ඒකනායක (82551), පො.කො. රියැදුරු චමුද්රි (80849) ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව විවෘත වරෙන්තු 6ක් ඇති අතර ඉන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති වරෙන්තුව අනුව නඩුව ඊයේ (25දා) කැඳවීය. එහිදී එම නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට ලබාදී තිබූ ඇප රාජසන්තක කර නඩුව අවසන් වනතුරු සැකකරු රිමාන්ඩ් කර තැබීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID