BREAKING NEWS
latest

728x90

468x60

මාරාන්තික උපත් ආබාධ, අතවරයකින් පිළිසිඳ ගැනීම් ගබ්සාවට කැබිනට් අනුමැතිය

ඉපදෙන්නට සිටින දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ අතවරයකට ලක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන සිටින්නේ නම් මවගේ කැමැත්තට අනුව ගර්භනීභාවය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනතක් බවට පත් කළ යුතු අතර, එම වැඩපිළිවෙළ ඉදිරි කාලය තුළ දී සිදු කෙරෙන බවත් මේ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණ ද එය අවභාවිතයේ යෙදීමට කිසිදු අවස්ථාවක අනුමැතියක් ලබා නොදෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.



‘වසරකට ශ්‍රී ලංකාවේ මවුවරුන්ගේ කුස තුළ දරුවන් 1730 ක් මිය යාමේ ඛේදවාචකයට තිත තබමු’ තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (22) ප්‍රකාශ කළේය.

මේ සංදේශයට අනුමැතිය ලැබී නීතියක් බවට පත් වූ පමණින්ම මවුවරුන්ගේ ගර්භනීභාවය අවසන් නොකරන බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ඇතිව රජයේ රෝහලක දී පමණක් ගර්භිණීභාවය අවසන් කරන බවත් ඒ මහතා කීය.

මවුවරුන්ගේ ප්‍රසූතිය පහසු කරවීම ඔවුන්ගේ මානව අයිතියක් ආරක්ෂා කිරීමක් බවත් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, වේදනාවෙන් තොර ප්‍රසූතියක් සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි බවත් ඔහු පැවැසුවේය.

දරු උපත සිදු වන විට දී මව ළඟ සමීපතමයකු සිටීම ද මානව අයිතියක් වන්නේ යැයි ද මවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මඟින් මවට සහ දරුවාට යහපතක් වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ එළැඹෙන වර්ෂයේ සභාපති කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය යූ. ඩී. පී. රත්නසිරි, ලේකම් පානදුර කේතුමතී රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහත්වරු සහභාගි වූහ.
« PREV
NEXT »

Facebook Comments APPID