BREAKING NEWS
latest

728x90

468x60

ජර්මනියෙන් ඇවිත් සමාජ සේවයට කැපවුණු උර්සුලාට පතාලයෙන් තර්ජන


ඇය මැදිවියේ පසු වු ජර්මන් ජාතික කාන්තාවකි. ඇයට අපි උර්සුලා යෑයි කියමු. උර්සුලා ජර්මනියේ ප්‍රධාන වරායක්‌ ආශ්‍රිත ගම්මානයක පදිංචිව සිටියාය. ඕ දෙදරු මවකි. කොටින්ම කිවහොත් උර්සුලා ධනවත් කාන්තාවකි. ඕ කෝටි ප්‍රකෝටි ගණනක වත්කමකට උරුමකම් කීවාය. උර්සුලාගේ සැමියා ඇය හැරයන විට ඇය මැදිවියේ පසුවූ කාන්තාවකි. සැමියා හැරයාම නිසා ඕ දරු දෙදෙනා සමඟ තනිවූවාය. එහෙත් ඇය ඉන් නොසැලුනාය. දෙතුන් වතාවක්‌ උර්සුලා මෙරට සංචාරයකොට තිබුණාය. ඇය අපේ රටේ පරිසරයට මෙන්ම ස්‌වභාව සෞන්දර්යට දැඩි ලෙස ආදරය කළාය. මේ නිසා උර්සුලා ලංකාවේ පදිංචි වීමට තීන්දුවක්‌ ගත්තාය.
ලංකාවේ දේපලක්‌ මිලදීගෙන එහි පදිංචි වීමට ඇය ඒ වන විටත් තීන්දු කොට තිබුණි. තනිකමෙන් පාළුවෙන් සිටි උර්සුලාට ජර්මනියේ දී ප්‍රේමවන්තයකු ද මුණුගැසුණි. ඇය පෙම්වතා සමඟ මෙරටට පැමිණියාය. එහෙත් ටික දිනක්‌ යන විට ජර්මන් පෙම්වතා තමන්ට ගැලපෙන අයෙකු නොවන බව ඇය අවබෝධ කරගත්තාය. පෙම්වතා සති දෙක තුනකින් යළි ජර්මනිය බලා පිටත්ව ගියේය. උර්සුලා මෙරට තනිවූවාය. තනිකම පාළුව වේදනාව ඇයට දැඩි ලෙස දැනෙන්නට වූවාය. ඇය හික්‌කඩුව නගරයට ආසන්න ගම්මානයක පදිංචිව සිටියාය.

ගමේ විහාරස්‌ථානයකින් ඇයට ආරාධනාවක්‌ ලැබෙන්නේ මේ අතරතුරේය. විහාරස්‌ථානයේ වැඩ වලට ඇවිත් උදව් කරන්න අපේ ආගමේ හැටියට එය විශාල පිනක්‌ විහාරස්‌ථානයේ දායකයකු ඇයට එසේ කීවාය. නමුත් උර්සුලා එය ගණනකට ගත්තේ නැත. ඇයට පිං පව් ගැන අවබෝධයක්‌ නොතිබුණාය. එහෙත් ඇය එම විහාරස්‌ථානය බැලීමට ගියාය. විහාරස්‌ථානයට උදව් පදව් කිරීමේ අදහසක්‌ ඇයට තිබුණේ නැත. විහාරස්‌ථානයට ගියවිට කුඩාවට පිහිටා තිබූ පෙර පාසලක්‌ වෙත ඇයගේ අවධානය යෙමුවූවාය. එම පෙර පාසලේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පැමිණෙන ලෙස උර්සුලාට ආරාධනාවක්‌ද ලැබුණි. කුඩා දරුවන්ගේ වැඩක්‌ නිසා ඇය එම උත්සවයට යැමට තීරණය කළාය.

උර්සුලාට පෙර පාසලේ සිටි ළමුන් දැකීමෙන් මහත් කණගාටුවක්‌ ඇතිවිය. ඇතැම් දරුවෝ ගැලපෙන ඇඳුම්වලින් පැමිණ නොසිටියහ. ඇතැම් දරුවන්ට සපත්තු සෙරෙප්පු නැත. පෙර පාසලේ සිටියේ දුගී දුප්පත් දරු පිරිසකි. මෙම වයසේ පසුවන ජර්මනියේ දරුවන් හා මෙකී පෙර පාසලේ දරුවන් අතර ඇති වෙනස පෝෂණ තත්ත්වය ගැන ඒ වන විට ඇයට හොඳින් අවබෝධ වී තිබුණි. මෙකී පෙර පාසලට උදව් කිරීමට උර්සුලා පොරොන්දු වූවාය.

ඒ අතරවාරයේ ඇය යළි ජර්මනිය බලා පිටත්ව ගියාය. පෙර පාසලේ දරුවන්ගේ දුගී බව ගැන පෝෂණ තත්ත්වය ගැන උර්සුලා ජර්මනියේ තම හිතවතුන් සමඟ කීවාය. මේ දරුවන්ට අපි උදව් කරන්න ඕන. ඒ සඳහා ආධාර උපකාර කරණ ලෙස ඇය තම හිතවතුන්ගෙන් ඉල්ලා සිටියාය. මේ අතර ජර්මනියේදී ඇයට විශ්‍රාම ගොස්‌ සිටින තමන් මෙන් කාන්තාවක්‌ මුණගැසුණාය. ඇයටද ඒ වනවිට ජර්මනියේ ජීවත්වීම එපා වී තිබුණි. උර්සුලා මෙම කාන්තාවට ද මෙම දරුවන් ගැන කීවාය. පසුව උර්සුලා මෙම කාන්තාව සමඟ යළි මෙරටට පැමිණියාය. පසුව මොවුන් දෙදෙනා දුගී දුප්පත් මිනිසුන්ගේ නිවෙස්‌වලට ගොස්‌ ඔවුන්ගේ අඩුපාඩු සටහන් කර ගත්හ. ඒ විතරක්‌ නොව අබලන් වූ නිවෙස්‌වල ඡයාරුප ලබා ගැනීමටද උර්සුලා හා ඇගේ මිතුරිය කටයුතු කරණු ලැබීය. මෙම තොරතුරු ජර්මනියේ හිතවතුන්ට හා ආයතනවලට ගොස්‌ ඒවා ලබාදීමටද ඕ කටයුකු කළාය. උර්සුලාගේ ඉල්ලීමට ඉහළින්ම ප්‍රතිචාර ලැබුණි.

තම හිතවතුන්ගෙන් හා ජර්මනියේ විවිධ සංවිධානවලින් ඇයට ආධාර උපකාර ගලා එන්නට විය. ඕ සැබෑ දුප්පතුන් හඳුනාගෙන ඔවුන්ට නිවෙස්‌ ඉදිකරදීමට කටයුතු කළාය. ඒ විතරක්‌ නොව පෙර පාසල් ගණනාවක්‌ අලුතෙන් ඇති කිරීමට උර්සුලා කටයුතු කළාය. අඩු ආදායම් ලාභී දරුවන්ට ඉගෙනීමේ කටයුතු සඳහා උදව් පදව් කළාය. පොත් පත් ඇඳුම් පැළඳුම් පමණක්‌ නොව ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරණු ලැබීය. සැබවින්ම උර්සුලා සුවිශේෂී වූ සමාජ මෙහෙවරක්‌ මෙරට රැඳී සිටිමින් කරගෙන ගියාය. මේ කටයුතු කරගෙන යද්දී දකුණේ පාතාලයේ ප්‍රබලයකු උර්සුලා විසින් ඉදිකරගෙන යන නිවාස ව්‍යාපෘති හා පෙර පාසල් ව්‍යාපෘතිවල බලය අතට ගැනීමට උත්සාහ කළේය. නමුත් උර්සුලා එයට කොහෙත්ම කැමති වන්නේ නැත. මේ නිසා පාතාල ප්‍රබලයා හා උර්සුලා අතර නොයෙකුත් ගැටුම් පවා ඇති විය. එහෙත් ඒ කිසිවක්‌ උර්සුලා ශත පහකට ගණන් නොගත්තාය.

අපේ බල ප්‍රදේශයේ වැඩ කරනවා නම් අපි කියන විදියට වැඩ කරන්න ඕන. නිවාස හා පෙර පාසල් ඉදිකිරීමේ කොන්ත්‍රාත් අපට දෙන්න ඕන පාතාලයෙන් දිගින් දිගටම උර්සුලාට බලපෑම් එල්ලවන්නට විය. මම මේ ව්‍යපෘති කරගෙන යන්නේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්. එහෙනම් මම මේ ව්‍යපෘතිය කරන එක නවත්තලා දමනවා. උර්සුලා පාතාලයේ ප්‍රබලයාට කීවාය. ඒක හරියන්නේ නැහැ. අපේ බල ප්‍රදේශයේ වැඩ කරනවා නම් අපිට මාසයකට ගානක්‌ දෙන්න ඕන පාතාල ප්‍රබලයා උර්සුලාට යළි ගෝරනාඩු කළේය. එහෙත් ඇය ඒ කිසිවක්‌ ගණනකට නොගත්තාය. ඇය පුරුදු පරිදි තම වැඩ කටයුතු කරගෙන ගියාය. එහෙත් පාතාලයෙන් ඇයට ගැලවීමක්‌ නොතිබුණාය. පාතාලයේ ඉල්ලීම්වලට ඇය ඇහුම්කන් නුදුන් නිසා පාතාලයෙන් ඇයට මරණීය තර්ජන එල්ලවන්නට වූවාය. උර්සුලාද නිකන් හිටියේ නැත. ඇයද ඒ වන විට සමාජයේ ඉහළ පුද්ගලයන් සමඟ සමාජ සම්බන්ධතා රැසක්‌ ගොඩනඟාගෙන තිබුණි. එම සම්බන්ධතා පාවිච්චිකොට පාතාලයෙන් එල්ලවන බලපැම් හා තර්ජන යටපත් කරගැනීමට ඇය සමත් වූවාය.

මේ වන විට මෙකී ජර්මන් ජාතික කාන්තාව විසින් සුනාමි ෙ€දවාචකයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක්‌ ඉදිකොට ද තිබුණි. ඉදිකර ඇති පෙර පාසල් සංඛ්‍යාවද විශාල සංඛ්‍යාවකි. ඇය විවිධ ව්‍යාපෘති රැසක්‌ ඒ වන විට ආරම්භකොට තිබුණි. ඒ සඳහා මුදල් ජර්මනියෙන් ගලා එන්නට විය. ඒ මෙකී විදේශීය කාන්තාව තුළ පැවති අවංකභාවය හා විනිවිදභාවය නිසාය. සැබවින්ම ඒ වනවිට මෙකී විදේශීය කාන්තාව සුවිශේෂී වූ සමාජ මෙහෙවරක්‌ කරගොස්‌ තිබුණාය. ඇය පාතාලයට බිය නොවූවාය. ඇය පතාලයද මෙල්ල කරගත්තද ඇයට එක්‌ දෙයක්‌ මෙල්ල කරගැනීමට නොහැකි වූවාය. ඕ ඉන් පරාජයට පත්වූවාය. ඒ වනවිට උර්සුලාට පිලිකාවක්‌ වැළඳී තිබුණාය. තමන් ජීවත් වන්නේ ඉතා කෙටි කාලයක්‌ බව ඇය දැනගෙන සිටියාය. නමුත් ඇය තමන්ට වැළඳී ඇති රෝගී තත්ත්වය ගැන කිසිවකුටවත් කීවේ නැත.

තමන් මේ ගත කරන්නේ තමන්ගේ ජීවිතයේ අවසන් කාලය බව ඇය දැන සිටියාය. මෙකී විදේශීය කාන්තාව විසින් කරගෙන ගිය ව්‍යාපෘති කරගෙන යැමේ වගකීම තම මිතුරියට පැවරුවාය. ඕ යළි ජර්මනියට යැමට තීන්දු කළාය. මේ ගැන ඇයගෙන් උදව් උපකාර ලබාගත් පුද්ගලයන් මෙන්ම මෙරට හිතවතුන් ද අසන්නට වූහ. නැහැ මා ජර්මනියට ගිහින් යළි මෙරටට එනවා ඇය කීවාය. ඇය යළි ජර්මනියට ගියාය. ජර්මනියේදී ඇය දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්වූවාය. ඇය අපේ රටේ දරුවන්ට දැඩි ලෙස ආදාරය කළාය. දුප්පත් දරුවන්ට උදව් උපකාර කළාය.ඇයට ලෙඩ ඇඳේදී ඒවා යලි සිහිපත් වන්නට වූවාය.

එවැනි දුගී දුප්පත් දරුවන්ට යළි උදව් උපකාර කිරීමට නොහැකිවීම ගැන ඕ කනගාටු වූවාය. මෙකී විදේශීය කාන්තාවට පුතුන් දෙදෙනකු සිටියහ. ඇය ඉන් එක්‌ පුතෙකුගෙන් මෙවැනි ඉල්ලීමක්‌ කළාය. මම මියගියාට පසු මගේ සිරුරේ අළු ලංකාවට රැගෙන ගිහින් හික්‌කඩුවට ගිහිල්ලා මහ මුහුදේ පා කරන්න ඇය කීවාය. ඕ එම ඉල්ලීම කොට ටික දිනකින් මිය ගියාය. ජර්මනියේදී එරට ආගමික චාරිත්‍රාණුකුලව ඇයගේ අවසන් කටයුතු සිදු කෙරිණි. ඉන් පසු ඇගේ සිරුරේ අලු මංජුසාවක බහා මෙරටට රැගෙන ඒමට එක්‌ පුතෙකු කටයුතු කළේය. මෙරට විහාරස්‌ථානයකදී විදේශීය කාන්තාව වෙනුවෙන් ආගමික කටයුතු බෞද්ධ වත් පිළිවෙත් අනුව සිදු කරණු ලැබීය. පසුව එකි අලු මංජුසාව රැගෙන බෝට්‌ටුවකින් මුහුදට රැගෙන ගොස්‌ පා කර යෑවීමට කටයුතු කරණු ලැබීය. මේ කතාව අපට කීවේ නීතිඥ තුෂාරද සිල්වා මහතාය. එදා තුෂාර ද සිල්වා මහතාද මේ කටයුතු සඳහා සහභාගි වූයේය.

ඇත්තටම මෙකී විදේශීය කාන්තාව අපේ දරුවන්ට, අපේ රටට දැඩි ලෙස ආදාරය කළ තැනැත්තියක්‌. ඒ නිසා තමයි ඇය කීවේ මියගියාට පසු අළු රැගෙනවිත් මහ මුහුදේ පාකරන්න කියලා. ඇය පාතාලයත් මෙල්ල කරගත්තා. නමුත් ඇයට පිළිකාවෙන් බේරෙන්න බැරිවුණා. ජීවිත ගමනින් ඇය පරාජයට පත්වුණා. මෙම විදේශීය කාන්තාව සමාජ සේවිකාවක්‌. ඇය අප කාටත් ආදර්ශයට ගතයුතු චරිතයක්‌ බව නීතිඥ තුෂාර ද සිල්වා මහතා කීවේය.

ලලිත් චමින්ද
« PREV
NEXT »

Facebook Comments APPID