BREAKING NEWS
latest

728x90

468x60

හම්බන්තොට සිට මාතරට කුඩු බෙදූ අක්කා නගෝ රිමාන්ඩ්

ස්කූටරයක් යොදා ගනිමින් හම්බන්තොට සිට මාතරට කුඩු බෙදූ අක්කා නගෝ දෙදෙනකු පසුගිය 7 දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන බෙලිඅත්ත පොලිසියට බාරදීමෙන් පසු සැකකාරියන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාරියන් දෙදෙනා මේ මස 20වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද සේරසිංහ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බෙලිඅත්ත රඹුක්කැටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි රුවිනි නිසංසලා එදිරිවීර සහ 19 හැවිරිදි හසිනි මධුෂානි එදිරිවීර නැමැති අක්කා නගෝ දෙදෙනෙකි.
ස්කූටරයක් යොදා ගනිමින් කුඩු බෙදාහරිමින් සිටියදී බෙලිඅත්ත රඹුක්කැටිය පාසල අසලදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මේ සැකකාරියන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකාරියන් දෙදෙනා සමඟ හෙරොයින් ග්‍රෑම් තුනයි මිලිගෑම් පන්සියයක්, ජංගම දුරකතන හතරක්, රුපියල් පනස් දහස හා හතලිස් දහස බැගින් ලංකා බැංකුවට මුදල් තැන්පත් කළ රිසිට් පත් දෙකක් හා මුදලින් රු. 81,190ක මුදලක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මේ අක්කා නගෝ දෙදෙනා හම්බන්තොට සිට මාතර දක්වා කුඩු බෙදා හරින බවත් හා අධිකරණ කිහිපයකම මොවුන්ට එරෙහිව මත්කුඩු සම්බන්ධයෙන් නඩු විභාග වන බවත්ය.
තංගල්ල වැඩ බලන පොලිස් අධිකාරී බී.එම්.එම්.දසනායක, සහකාර පොලිස් අධිකාරී තුෂාර දලුවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ.රංගජිව, උප පොලිස් පරීක්ෂක දයානන්ද, සැරයන්වරුන් වන සුමනසිරි (33492), චන්ද්‍රලාල් (2536), කොස්තාපල්වරුන් වන ගුණසේකර (48327), හෙට්ටිආරච්චි (41543) සහ කාන්තා පොලිස් කොස්තාපල් හර්ෂණී (1992) යන නිලධාරීන් වැටලීම සිදු කර සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 
සූරියවැව නුවන් ජයසේකර
« PREV
NEXT »

Facebook Comments APPID